Sunday, September 25, 2022

දේශීය කෘෂිකර්මාන්තයේ ආරම්භය

 


අනාදිමත් කාලයක සිට මානව ජනාවාස බිහිවීමත් සමග ආරම්භ වුණු කෘෂිකර්මය වර්තමානය වන විට බොහෝ වෙනස්‌වීම්වලට භාජන වෙමින් වර්ධනය වීමක්‌ දක්‌නට ලැබේ. ඒ අනුව එදා ඈත අතීතයේ දී ගංගා ආශ්‍රිත බිහිවුණු කෘෂිකර්මය අද වන විට සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ප්‍රධාන කොටස්‌ 02 ක්‌ යටතේ වර්ග කළ හැක. එනම්


01.වතුවැවිලි කෘෂිකර්මාන්තය 

02.දේශීය කෘෂිකර්මාන්තය  

ප්‍රධාන වශයෙන් වතු වැවිලි කෘෂිකර්මාන්තය මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමය එළැඹීමත් සමගම හඳුන්වා දුන් බෝග වගාවකි. එහිලා ප්‍රධාන වශයෙන් තේ, පොල්, රබර් ඇතුළුසුළු අපනයනබෝග අන්තර්ගතවේ.
ලෝක කෘෂිකර්මය ආරම්භය වී දැනට වසර 10000 ත් 12000 ත් අතර ප්‍රමාණයක්‌ පවතින අතර මෙරට දේශීය කෘෂිකර්මයේ ආරම්භය පිළිබඳ නිශ්චිත කාලවකවානුවක්‌ ඉදිරිපත් කළ නොහැක.

ඉන්දියාවෙන් මෙරටට පැමිණි ආර්යයන් පළමුව මුල් වාසස්‌ථාන මල්වතු ඔය ආශ්‍රිතවත්, දකුණු පළාතේ වලවේ ගඟ, කිරිඳි ඔය, කුඹුක්‌කන් ඔය හා මැණික්‌ ගඟ යන ගංගා ආශ්‍රිතවත් හා බස්‌නාහිර දෙස කැලණි ගඟ ආශ්‍රිතවත් පිහිටුවාගෙන ඇත. මොවුන් ප්‍රධාන වශයෙන් හේන් ගොවිතැන ආශ්‍රිත වගා කටයුතු සිදු කර ඇත. ඊට අමතරව ප්‍රධාන වශයෙන් වී වගාව සම්බන්ධ ගොවිතැන ද සිදු කර ඇත. බොහෝ විට ගංගා ආශ්‍රිතව කැලෑ එළි පෙහෙළි කොට ගිනි තබා ධාන්‍ය වගා කිරීම මොවුන් සිදු කර ඇත. මෙම හේන් වගා ක්‍රමය සඳහා දිගු ඉතිහාසයක්‌ පවතී. එනම්, මහාවංශයේ සඳහන් වන පරිදි විජය කුමරු ඇතුළු පිරිස මෙරටට පැමිණෙන විටද කපු හේන, කපු කටින යන්ත්‍ර හා කුවේණියගේ කපු කැටීමේ කතාව මගින් ද මෙම ඓතිහාසික තත්ත්වය පිළිබිඹු වේ. මේ අනුව දිවයිනේ මුල්ම වගා ක්‍රමය ලෙස හේන් ගොවිතැන් ක්‍රමය දැක්‌විය හැක.

මේ අනුව පෙනී යනුයේ අතීතයේ දී ගොවීන් ජලය රැස්‌කර සිය වගා කටයුතු සිදු කිරීම සඳහා මහත් ප්‍රයත්නයක්‌ දරා ඇති බවයි. ක්‍රි. ව. 1200 දී පමණ ඉන්දියා ආක්‍රමණයට වියළි කලාපය ගොදුරු වීමත් සමග ජනතාව කඳුකරය දෙසට ගමන් කළ ද ඔවුන් පරිසර ආකෘතියට ගැලපෙන ආකාරයට සිය ගොවිතැන් කටයුතු පවත්වාගෙන ගොස්‌ ඇත.

අතීතයේ ලංකාව ස්‌වයංපෝෂිත ආර්ථිකයක්‌ බවට පත්වීම සඳහා ප්‍රධාන වශයෙන් වාරි කර්මාන්තයේ බලපෑම සිදු වූ ආකාරය දැක්‌විය හැක. මුලින්ම ආර්ය ශිෂ්ටාචාරය මල්වතු ඔය ආශ්‍රිතව සිදු වූ අතර ඉන්පසු ක්‍රමිකව වැව්, ජලාශ වැනි දේවල් ඉදිකර කෘෂිකාර්මික කටයුතු සිදු කරන ලදී.

මෙලෙස කෘෂිකාර්මික ස්‌වංපෝෂිත බව වර්ධනය කිරීම සඳහා 1 වන මහා පරාක්‍රමබාහු රජු විශාල මෙහෙයක්‌ ඉටු කළ අතර ඊට අමතරව රුහුණේ විසූ රජවරු ද වැව් තනවා ඇත. එලෙස වැව් 35000 ක්‌ පමණ තනවා ඇති අතර වර්තමානය වන විට ඉන් 17000 ක්‌ පමණ හඳුනාගෙන ඇත. එයින් 12000 ක්‌ පමණ කුඩා වැව් වේ.

මේ ආකාරයට පුරාණ සිංහල දෙමළ රජවරු සමයේ වාරිමාර්ග පද්ධති දියුණු කර කෘෂිකාර්මික කටයුතුවලින් ස්‌වයංපෝෂිත බවට පත් කිරීමට උත්සාහ ගෙන ඇත. බහුල ලෙස රජරට ශිෂ්ටාචාරය ආශ්‍රිතව කෘෂිකාර්මික ස්‌වයංපෝෂිත තත්ත්වයක්‌ දක්‌නට ලැබිණි. බොහෝවිට නියං සාගත ඇති වන අවස්‌ථාවලදී එම තත්ත්වයන්ට මුහුණ දීමට හැකියාව ඇති ආහාර නිෂ්පාදන අතින් සමෘද්ධිමත් ආර්ථිකයක්‌ දක්‌නට ලැබිණි. මෙම තත්ත්වය ඇති කිරීමට එකල රාජ්‍ය පාලනය කළ රජවරු මහත් ප්‍රයත්නයක්‌ ගෙන ඇත. මේ යුගයේ මෙරට කෘෂිකර්මය ආරම්භ වී ස්‌වයංපෝෂිත මට්‌ටමක්‌ දක්‌වා ගමන් කර ඇත.
එදා ඈත අතීතයේ සිට දිගටම සිදුකරගෙන ආ "දේශීය ගොවිතැන" පළමු යුරෝපීය ආක්‍රමණිකයන් වන පෘතුගීසීන් හා ලන්දේසීන්ගේ කාලයේ දී පවා නොකැඩී නොබිඳී පැවතිණි. දේශීය ගොවිතැන් ක්‍රමයට කණකොකා හඬ උදා වූයේ 1815 ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් වීමත් සමගය .ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් කර ගැනීමෙන් පසු මොවුන් මෙරටට කෝපි, කුරුඳු, සිංකෝනා, තේ, පොල් සහ රබර් යන වැවිලි බෝග හඳුන්වාදීමත් සමගම මෙරට වැවිලි ආර්ථිකය හා දේශීය කෘෂි ආර්ථිකය වශයෙන් ද්විත්ව ආර්ථික රටාවක්‌ බිහිවිය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මොවුන් හිතාමතා දේශීය කෘෂිකර්මය පිළිබඳ නොසලකා හරින ලද අතර වතු වැවිලි කෘෂිකර්මය නඟාසිටුවීමට විවිධ පියවර ගෙන ඇත. මෙම යටත් විජිත යුගයේ දේශීය කෘෂිකර්මය පහත කරුණු අනුව පිරිහී ඇත. එනම්,
01. ගම්සභා ක්‍රමය අහෝසි කිරීම.

02.රාජකාරි ක්‍රමය වෙනස්‌ කිරීම

03.මුඩු ඉඩම් පනත

1840 අංක 12 මුඩුබිම් ආඥ පනත මගින් ගොවියන්ට තම තමන්ට අයිති ඉඩම්වල අයිතිය ඔප්පු කිරීම නියම කරන ලදී. ඔප්පු කිරීමට නොහැකි වූ ඉඩම් රජයට පවරා ගන්නා අතර මේ සඳහා බහුලව හේන් වගාව ආශ්‍රිත ඉඩම් අයිති වේ.

04. පිටරටින් සහල් ආනයනය කිරීම
වැවිලි අංශයේ කම්කරුවන්ට හා නාගරික ජනතාවට අවශ්‍ය සහල් පිටරටින් ආනයනය කිරීම නිසා මෙරට සහල් නිෂ්පාදන අංශය අකාර්යක්‌ෂම විය.

05. ග්‍රාමීය අංශයට ප්‍රවාහන පහසුකම් නොසැපයීම
මාර්ග පහසුකම් වතුකරයට පමණක්‌ සැලසූ අතර ආහාර නිෂ්පාදනය කරන ප්‍රදේශවල මාර්ග පහසුකම් දක්‌නට නොලැබිණි.

06. අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති
මෙකල යටත්විජිත ප්‍රතිපත්තිය වූයේ "සාගින්නෙන් යටපත් කිරීම" යන්න වේ. මොවුන්ගේ ප්‍රධාන අරමුණ ලාභ ඉපයීම වන හෙයින් දේශීය කෘෂිකර්මය නඟාසිටුවීම මගින් ආර්ථික සංවර්ධනය සිදුවන නිසා ඒ සඳහා කිසිදු පියවරක්‌ දියත් කර නැත.

07. අසාධාරණ බදු අය කිරීම
ගොවීන්ට අහිතකර අයුරින් බදු පැනවීම නිසා දේශීය කෘෂිකර්මය පිරිහීම සිදු විය. උදාහරණ ලෙස කුඹුරු බද්ද මගින් වගා කරත් නැතත් බදු ගෙවීමට සිදු විය. ඊට අමතරව ඉස්‌තෝප්පු බද්ද, තුවක්‌කු බද්ද, බලු බද්ද හා ඇඟ බද්ද යනාදිය ද ගොවීන්ට අහිතකර ලෙස පනවා ඇත.

08. වාණිජ බෝගයන්ගේ ලාභදායීතාව වැඩිකම
වී වගාවට වඩා වැඩි ලාභයක්‌ වාණිජ බෝගවලින් ලැබීමට හැකි විය.

මේ අනුව යටත්විජිත සමයේ මෙරට ආර්ථිකය තුළ වැවිලි කෘෂිකර්මාන්තය හා නොදියුණු දේශීය කෘෂිකර්මාන්තය ලෙස ද්විත්ව ආර්ථිකයක්‌ තිබිණි. මෙකල වැඩි වශයෙන් වතු වගාව සඳහා රාජ්‍ය අවධානය යොමු වීම හේතු අතර ආහාර නිෂ්පාදන අංශය කඩා වැටී සහල් ආයාත කිරීමට පවා සිදු විය.

19 වැනි සියවස අග භාගයේදී ලෝක ආහාර මිල ගණන් ඉහළයැමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් එවකට මෙරට පාලකයන් දේශීය කෘෂිකර්මය කෙරෙහි අවධානය යොමු කරන ලදී. මොවුන් 1850 දී වැව් ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා රන් පවුම් 681,900 ක්‌ වැය කර ඇත.

1948 න් පසු මෙරට කෘෂිකාර්මික කටයුතු දියත් කිරීමට මහඟු ප්‍රයත්නයක්‌ දරා ඇත. ඒ අනුව යමින් 1948 දී ප්‍රකාශයට පත් කළ සය අවුරුදු සැලැස්‌ම යටතේ කෘෂිකර්මය සඳහා නවීන උපකරණ භාවිත කිරීමෙන් ඵලදාව වැඩි කිරීමට කටයුතු කළ අතර වගා කරන භූමි ප්‍රමාණය අවුරුදු 6 ක්‌ ඇතුළත අක්‌කර 131,000 දක්‌වා වර්ධනය කිරීමට බලාපොරොත්තු විය.

1948 සිට 1956 කාලයේ සය අවුරුදු සැලැස්‌ම ක්‍රියාත්මක වීම කෘෂිකාර්මික සංවර්ධනය කඩිනම් විය.
1956 පමණ වන විට මහා ගොවි ජනපද ව්‍යාපාර 33 ක්‌ පමණ බිහි වූ අතර රාජ්‍ය විසින් වී සඳහා සහතික මිලක්‌ 1948 දී නියම කිරීම හා 1951 දී කාබනික පොහොර භාවිත කළ ගොවීන්ට රසායනික පොහොර සහනාධාර ලබාදීම වැනි දේ සිදු කර ඇත.

ඊට අමතරව මෙකල දේශීය කෘෂි අංශය විකාශනයට ඉවහල් වන පරිසරය සකස්‌ කිරීම සඳහා රජයන් විසින් විවිධ ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්ති ගෙන ඇත. ඒ අනුව 1958 කුඹුරු පනත, 1972 ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනත හා වී අලෙවි මණ්‌ඩල පනත වැනි ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය කෘෂි අංශය නගා සිටුවීමට මෙය පිටිවහල් විය. මෙකල වූ තවත් ලක්‌ෂණයක්‌ ලෙස 1957 ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇති කිරීම දැක්‌විය හැක.

මේ අනුව 1960 ට පෙර බහුල වශයෙන් ශ්‍රමය උපයෝගි කරගත් කෘෂිකර්මය පැවැති අතර ඒ තුළ 1960 න් පසු නවීන යන්ත්‍ර උපකරණ භාවිතක්‌ දක්‌නට ලැබිණි. එනම් බොහෝ විට බිම් සැකසීම, අස්‌වනු නෙළීම, කොළ මැඩීම හා අස්‌වැන්න, ප්‍රවාහනය සිදු කිරීම වැනි ක්‍රියා සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිත කරන ලදී. මේ සඳහා රෝද හතරේ ට්‍රැක්‌ටර්, රෝද දෙකේ ට්‍රැක්‌ටර්, සංයුක්‌ත කොළ මඩින යන්ත්‍ර, තෙල් ඉසින යන්ත්‍ර හා අසුවනු නෙළන යන්ත්‍ර යනාදිය දැක්‌විය හැක.
මෙහි ඇති තවත් ලක්‌ෂණයක්‌ ලෙස 1960 ට පෙර සාම්ප්‍රදායික බීජ වර්ග භාවිත කර ඇත. එනම් ගොඩහීනැටි වී, සුදු හීනැටි වී, සුවඳැල්, කළුදුරු හා රත් කරල් යනාදිය දැක්‌විය හැක. මෙහි අස්‌වනු නෙළීම මාස 3 -4 ක්‌ හා 6 -7 ක්‌ ගත වේ. නමුත් 1960 න් පසුව මෙරට අභිජනනය කළ නවීන බීජ වර්ග හඳුන්වාදෙන ලදී.

1948 වි නිෂ්පාදනය සඳහා BG වී වර්ග හඳුන්වාදෙන ලදී. (Department of Agriculture, 1987, P:6) 1978 දී BG 397 - 2" BG - 400 - 1, BG 276 - 5 BW 78 යනාදී වී වර්ග හඳුන්වා දෙන ලදී. ඊට අමතරව 1988 වර්ෂයේ දී ද BW 302 සහ BW 400 යන වී වර්ග දෙකක්‌ හඳුන්වාදීම සිදු විය.

1960 න් පසුව කෘමිනාශක හා වල්නාශක භාවිතයට ගන්නා ලදී. මෙම පළිබෝධනාශක හා වල්නාශක ප්‍රමාණය 2008 යල කන්නය වන විට බිම් ප්‍රමාණය හෙක්‌ටයාර් 348761 ක්‌ පමණ ප්‍රමාණයක යොදාගෙන ඇති අතර එය ප්‍රතිශතයක්‌ ලෙස 74.9% කි. වර්තමානය වන විට කෘමිනාශක යොදා නොගත් බිම් ප්‍රමාණය ද 25.0% ක්‌ පමණ පවතී. (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2008)
මේ ආකාරයට 1960 දී නවීන තාක්‌ෂණය දේශීය කෘෂිකර්මය හඳුන්වාදීම නිසාත් මෙරට දේශීය කෘෂිකර්මයේ වර්ධනයක්‌ සිදු විය.

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට සාම්ප්‍රදායිකව පැවැති කෘෂිකර්මයට අදාළ ආහාර බෝග ආනයනය හා අපනයනය කිරීම ආරම්භ විය. දේශීය කෘෂිකර්මය ආශ්‍රිතව ඇති වූ තවත් වැදගත් ලක්‌ෂණයක්‌ වනුයේ 1978 කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීම වේ. මේ නිසා වාරි ඉඩම් හෙක්‌ටයාර් 600,000 ක්‌ පමණ වගා කිරීම අපේක්‌ෂිත වූ අතර 1970 - 1996 කාලය වන විට ගොවිජනපද 09 ක්‌ පමණ බිහි විය.

1990 දී ඉවත් කළ පොහොර සහනාධාරය නැවත 1994 දී ලබාදුන් අතර එය තවදුරටත් 2008 වන විට වර්ධනය කරන ලදී.
ඊට අමතරව වී සඳහා සහතික මිලක්‌ නියම කිරීම හා දේශීය කෘෂි අංශයට ණය සැපයීම වැනි හේතු නිසා දේශීය කෘෂි අංශය වර්ධනය වීමක්‌ සිදු වේ. 1986 දී නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීමෙන් නවීන වගා ක්‍රම උපයෝගි කරගෙන දේශීය වගා ක්‍රම සිදු කරන ලදී. මේ නිසා දේශීය කෘෂිකර්මය වර්ධනය විය.

2008 වර්ෂය වන විට "මහින්ද චින්තන ප්‍රතිපත්ති" යටතේ ආරම්භ කරන ලද "අපි වවමු - රට නගමු" වැඩසටහන යටතේ මෙරට දේශීය කෘෂිකර්මය ආශ්‍රිත විශාල වර්ධනයක්‌ සිදු විය. ඒ අනුව දේශීය කෘෂිකර්මය දියුණු කිරීම සඳහා 2008 වසර සඳහා රුපියල් මිලියන 32.5 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. එනම් 2007 යල කන්නයේදී වී නිෂ්පාදනය මෙ. ටො. දහස්‌ 1158 ක්‌ වූ අතර එය 2008 යල කන්නය වන විට මෙ. ටො. 1750 දක්‌වා වර්ධනය වී ඇත.

(ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2008 )

මෙලෙස වසර 10.000 ක්‌ පමණ පැරැණි ඉතිහාසයක්‌ පවතින දේශීය කෘෂිකර්මය අද වර්තමානය වන විට ක්‍රමිකව දියුණු වී ඇත. එනම් සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම බොහෝ දුරට ඉවත් වී නවීන තාක්‌ෂණය දේශීය කෘෂිකර්මාන්තයට මුසු වී නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීමක්‌ දක්‌නට ලැබේ.



සඳු පූර්ණිමා...


(ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)







7 comments:

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...