සන්නිවේදනය යනු මානව ජිවිතයට අත්‍යවශ්‍යය දෙයකි. මිනිසා මව් කුස තුළ සිටින අවධියේ පටන් සන්නිවේදනයේ යෙදේ. මිනිසා යනු සාමුහික සත්ව කොට්ඨාසයකි. එම නිසා කිසිවිටෙකත් තනිව ජීවත්විය නොහැකිය. අන් අය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවශ්‍ය බැවින් සන්නිවේදනය මිනිසාට අත්‍යවශ්‍ය වේ. එසේ ගත් කළ සන්නිවේදනය යන්න සරලව දෙපාර්ශවයක් අතර සිදුවන තොරතුරු අදහස් හා හැඟීම් හුවමාරු වන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. එලෙසම සන්නිවේදනය සඳහා යොදා ගන්නා විධික්‍රම නැත්නම් සන්නිවේදන ස්වරූප සන්නිවේදන විද්‍යාඥයන් විසින් වර්ග කර ඇත. එම ස්වරූප සියල්ල මානව සමාජයේ සන්නිවේදන අවශ්‍යතාවයන් සපුරාලීමට නිරන්තරයෙන් යොදා ගැනේ.
වාචික සන්නිවේදනය
අවාචික සන්නිවේදනය (නිර්වාචික)
ලිඛිත සන්නිවේදනය
දෘශ්‍ය සන්නිවේදනය
ශ්‍රව්‍ය සන්නිවේදනය
විධිමත් සන්නිවේදනය
අවිධිමත් සන්නිවේදනය
ඉහත සන්නිවේදන විධි අතුරින් දෘශ්‍ය සන්නිවේදනයට ප්‍රධාන තැනක් හිමිවේ. ඇසින් දැකීම නිසා සිදුවන සන්නිවේදනය බැවින් මෙයට නිශ්චිත සීමාවක් ප්‍රකාශයට කළ නොහැකිය. මානව සමාජයේේ ආරම්භයේ සිටම මෙම සන්නිවේදනය භාවිතයට ගැනුනි. එනම් ආදි මිනිසා ගිනි ගොඩවල් ගැසීම, දුම් ඉහලට නැංවීම, ගස් වල කොළ අතු එල්ලීම මගින් පණිවුඩ හුවමාරු කර ගනු ලැබුවේ දෘශ්‍ය සන්නිවේදනය මගිනි. මේවා නිර්වාචික සන්නිවේදන යන කාණ්ඩයට ද ඇත ඇතුළත් වේ. තවද දෘශ්‍ය සන්නිවේදනයට සීමාවක් නැත. කොළ අතු එල්ලීමේ පටන් චිත්‍ර, කැටයම්, මුර්ති, අභිනයන්, සිනමාව, ඡායාරූපකරණය, පෝස්ටර් ආදී සියල්ලම දෘශ්‍ය මෙන්ම නිර්වාචික සන්නිවේදන කාණ්ඩයට ඇතුලත් වේ, මෙහිදී පසක් වන ප්‍රධානතම කරුණ වන්නේ දෘශ්‍ය සන්නිවේදනය තුළ බොහෝ සෙයින් නිර්වාචික සන්නිවේදනය භාවිතා වන බවයි. මෙහිදී නිර්වාචික සන්නිවේදනය යනු කෙටියෙන් ගත්කල වචන භාවිතයකින් තොරව සිදුවන සන්නිවේදනයයි. මෙය මිනිසාගේ ජීවවිද්‍යාත්මක උරුමයකි. එබැවින් එය සමස්ත ලෝකයටම පොදු හේතුවකි. භාෂාව තුළින් හටගන්නා වූ සන්නිවේදනය බාධක මඟ හරවා ගැනීමට නිර්වාචික සන්නිවේදනය උපයෝගි කරගත හැකිය. එමගින් මිනිසාට සමාජය තුළ පහසුවෙන් ගණුදෙනු කිරීමේ හැකියාවක් පවතී.
මහාචාර්ය ඇල්බට් මෙහෙරාබියන් පවසන ආකාරයට පුත් පුද්ගලයෙකු සතුව පවත්නා සන්නි සන්නිවේදන රටාව තුළ 55% ක් මුහුණේ ඉරියව් මගින් ප්‍රකාශනය වන අතර 38% ක් කතන ස්වරූපය තුළින් පෙන්නුම් කරන අතර වචන භාවිතය තුළින් නිරූපනය වන්නේ 7% ක් පමණ ප්‍රමාණයක් පමණි. මෙහිදී මුහුණේ ඉරියව් වචන භාවිතයෙන් තොරව ඕනෑම මොහොතක නිරූපණය කිරීමෙන් සන්නිවේන්නිවේදනයේ යෙදිය හැකි වන අතර මෙය සාර්ථක කරගැනීමට දෘශ්‍ය සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ එනම් මෙහිදී
කෝපය
පිළිකුල් සහගත බව
බිය
ප්‍රීතිය
දුක්මුසු බව
යන ආදී හැඟීම් රාශියක් මුහුණේ ඉරියව් මඟින් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. නමුත් මෙහිදී මෙය සාර්ථක කර ගැනීමට නම් අනෙකාගේ මුහුණේ හැඟීම් ප්‍රකාශනය අප දැකිය යුතුය. එමනිසා නිර්වාචික සන්නිවේදනය සමඟ බැඳී පවතින අංගයක් ලෙසට දෘශ්‍ය සන්නිවේදනය හඳුනාගත හැකිය.
ඇඳුම් පැළඳුම් ගතහොත් සෑම සංස්කෘතියකම එහි සාමාජිකයන් විසින් ඇඳිය පැළඳිය යුතු ආකාරය පිළිබඳ විවිධාකාර සම්මුතීන් ඇති කර ගෙන තිබේ. සෑම පිළිගත් සම්මුතියකට අනුව වස්ත්‍ර ඇඳීමෙන්, කණකර ආභරණ පැළඳීමෙන්, මුහුණු ආලේපන යෙදීමෙන්, කොණ්ඩා සැකසුම් මගින් ලෝකයාට ප්‍රකාශ කරන්නේ තම සංස්කෘතිය විසින් සම්මත ක්‍රමයට අනුව තමා හැඳපැළඳ සිටීමට රුචියක් දක්වන බවයි. සංස්කෘතිය කෙරෙහි තමා තුළ ගෞරවයක් ඇති බවයි. එසේම තම සංස්කෘතිය, ආගම කෙරෙහි ගෞරවයක් පැහැදීමක් නොමැති නම් ඇත්තේ කලකිරීමක් නම් ඇඳුම් පැළඳුම් මගින් එය ප්‍රකාශ කළ හැකිය.
නිදසුන් : වර්තමාන බටහිර රටවල ඇතැම් තරුණ තරුණියන් කොණ්ඩා රැවුල් වවාගෙන කිලිටි වූ ඇඳුම් හැද නැතහොත් පොදු නොවූ විලාසිතාවන්ගෙන් සැරසී ලෝකයාට ප්‍රකාශ කරනු ලබන්නේ තමන් අවට ඇති සංස්කෘතිය ඔවුන් පිළිනොගන්නා බවයි.
මේ අනුව පෙනෙන්නේ ඇඳුම් පැළඳුම් යනු නිර්වාචික සන්නිවේදනය කළ හැකි මාධ්‍යයක් වුවත් එය නිසියාකාරව සන්නිවේදනය වීමට නම් දැකීමක් සිදු විය යුතු බවයි. තවද “පරතරය“ ගතහොත් එනම් පුද්ගලයන් සිටින දුර ප්‍රමාණය දැකීම තුළින්ද විවිධාකාර පණිවිඩ සන්නිවේදනය වේ. එනම් පුද්ගලයන් අතර පවතින පරතරය මගින් ඔවුන් අතර තිබෙන සබඳතාවය හැඟීම් ආදිය වටහා ගත හැකිය. එනම් නන්නාදුන පුද්ගලයන් දෙදෙනකු පරතරය තබා ගෙන සිටින ආකාරය මගින් ඔවුන් මින් පෙර හමු නො වූ පුද්ගලයන් බවට සන්නිවේදනය කරගත හැකිය. එසේම පෙම්වතා සහ පෙම්වතිය අතර තිබෙන පරතරය හා ඔවුන් තුළින් පෙන්වන හැඟීම් තුළින් ඔවුන් පෙම්වතුන් බව දෘශ්‍යමාන වේ. මේවාද දෘශ්‍ය සන්නිවේදනය තුළ භාවිතා වන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත හැකිය. එසේම සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර දුර ප්‍රමාණය වැඩි නම් සන්නිවේදන මෙවලම් භාවිතයෙන් තොරව වාචික සන්නිවේදනයේ යෙදිය නොහැකිය. එසේම මෙහිදී නිර්වාචික සන්නිවේදනය මගින් අදාළ සංදේශය ග්‍රාහක ගත කිරීමේ හැකියාව ලැබේ.
නිදසුන් : දුම්රියක රියදුරෙකු හට ඉදිරියෙන් පවත්නා අනතුරුදායක තත්ත්වයක් වචන භාවිතයෙන් ඉදිරිපත් කළ නොහැකිය. ඒත් සඳහා රතු පැහැති කොඩියක් වැනීම සිදු සිදුකරනු ලබයි. එමගින් ඉදිරියේ අනතුරක් ඇති බව රියදුරා වටහා ගනු ලබයි.
මේ දැකීම තුළ සිදු වූ නිර්වාචික සන්නිවේදන අවස්ථාවකි. එලෙසම මගියෙකු සිය අවශ්‍යතාවය මත බස් රථයක් නවතා ගැනීමට අත ඇල්ලීම සිදු කරනු ලබයි. එය රියදුරා දැකීම නිසා පණිවිඩය හඳුනාගෙන බස් රථය නවත්වනු ලබයි මෙහි දී ද සිදුවන්නේ දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය භාවිතා කිරීමකි. එලෙසම සංඥා හා සංකේත ගතහොත් ඒවා තුළද සිදුවන්නේ දැකීම තුළින් අර්ථය වටහා ගැනීමකි. මෙය සාර්ථක දෘශ්‍ය මෙන්ම නිර්වාචික සන්නිවේදනය ලෙස ද හඳුනාගත හැකිය. මහා මාර්ගවල, ගුවන්තොටුපලවල ආදි ස්ථානවලදී මෙය සාර්ථකව භාවිතයට ගත හැකිය.
නිදසුන් : මාර්ග සංඥා පද්ධති ගත හැකිය. මෙමගින් බොහෝ මාර්ග අනතුරු මෙන්ම තදබදය ද අවම කර ගැනීමට හැකිවී තිබේ.
එහිදී
■ අනතුරු ඇඟවීමේ සංඥා
■ තහනම් සංඥා
■ සීමාකාරී සංඥා
■ විදාන සංඥා
■ ප්‍රමුඛතා සංඥා
■ තොරතුරු සංඥා
■ ආලෝක සංඥා
■ පොලිස් හස්ත සංඥා
ආදිය හඳුන්වා දිය හැකිය.
එසේම ගුවන්තොටුපල, වරාය ආදී ස්ථානවලට විවිධාකාරයේ භාෂාව භාවිතා කරන පුද්ගලයන් පැමිණෙන බැවින් භාෂාවක් යොදාගෙන සන්නිවේදනයේ යෙදුනහොත් එය අසාර්ථක වන්නට ඉඩ ඇත.
එම නිසා සැමට පොදු භාවිතය ඉතා ඵලදායී දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය භාවිතා කරයි.
දෘශ්‍ය සන්නිවේදනය මෙන්ම නිර්වාචික සන්නිවේදනය ආරම්භ වනු ලබන්නේ මිනිසා සිතන්නට ගත් දා සිටය. එනම් මීට වසර දස දහස් ගණනකට පෙර සිටයි. ආදී මානවයා තමාට සිදු වූ හා මුහුණ දීමට සිදු වූ තම අත්දැකීම් රඟ දක්වා පෙන්වීම හා ගල් ගුහාවල චිත්‍ර වශයෙන් සිතුවම් කර පෙන්වීම ආදිය මගින් ඔවුන් නිර්වාචිකව තම සන්නිවේදනය සිදු කරනු ලැබීය. එම ප්‍රාග් යුගයේ දී ඔවුනට භාෂාවන් නොවූ හෙයින් ඔවුන් නිර්වාචික සන්නිවේදනය තම භාෂාව වශයෙන් භාවිතා කර ඇති බවට වර්තමානයේ දී සාක්ෂි සොයාගෙන තිබේ.
එමෙන්ම ගැමි ජන ජනතාව යම්තාක් දුරට ප්‍රබලතා වශයෙන් නිර්වාචික සන්නිවේදනය භාවිතා වී තිබේ. යම්කිසි දුර ගමනක් යෑමට ප්‍රථම ගසක කොළ අත්තක් කඩා එල්ලා යාම, විවිධ වර්ග වල මල්, ගෙඩි, ඈතට විදීම තුළින් අදාළ පණිවිඩයන් යමෙකුට දැනුම්දීම සිදු කරයි. ගිනි ගොඩක් ගසා ඈතට දුම විහිදා පෙනෙන පරිදි විසුරුවා එමගින් නිසි සන්නිවේදන කරුණක් නිර්වාචික ව අනෙකාට දැනුම්දීම ආදිය අතීතයේ සිදු වී තිබේ. මේවාද දැකීම තුළින් අර්ථය වටහා ගන්නා ලද ඒවාය.
ගිනිමැල, දුම, කොළ අතු එල්ලීම, වැනි ප්‍රාථමික සන්නිවේදන ක්‍රම යොදා ගනිමින් ආදිකාලීන ගෝත්‍රික සමාජය විවිධ පණිවිඩ හුවමාරු කරගත් ආකාරයට අදටත් බොහෝ ගම්වල සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම භාවිත කරනු ලැබෙයි. අපගෙන් ග්‍රාමීය සමාජයේ පවතින බලිතොවිල් ආදියෙහි දක්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණය. ලෙඩරෝග සඳහා කොළ අතු එල්ලීම, කෙම් ක්‍රම, තහන්චි, මංගල හා අවමංගල චාරිත්‍ර විධි මෙන්ම ජන කවි, නාටක, රූකඩ ආදියද සාම්ප්‍රදායිකව යොදා ගත් දෘශ්‍ය සන්නිවේදන භාවිතයන්ය. ලෝකයේ කුමන රටක වුවද කුමන ජන කණ්ඩායමක් අධ්‍යයනය කළ ද මෙවැනි දෘශ්‍ය සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම සොයා ගත හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ඒ කුමන හෝ දෘශ්‍ය සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයක් එක් එක් ජන කණ්ඩායමකට සුවිශේෂී වන බවය.
එලෙසම කිසියම් බරපතළ රෝගයක් සෑදුණ විට පැමිණෙන අනෙකුත් තැනැත්තන්ගෙන් විය හැකි කිලි, විෂබීජ, යක්ෂ දෝෂ ආදිය හැරීමහැරීම සඳහා තම නිවෙස ඉදිරිපිට ගොක්කොල කිහිපයක් එල්ලා තැබීම අතීතයේ පටන් වර්තමානය දක්වාම සිදුවන්නා වූ සම්ප්‍රදායකි. එලෙසම නිවසක් ඉදිරිපිට කොළ අතු එල්ලා තිබීම මගින් පුද්ගලයන් එම නිවසේ රෝගයක් වැලළඳුණු රෝගීයෙකු සිටින බවත් එම නිවසට නොයා යුතු බවත් නිර්වාචිකව තේරුම් ගනු ලබයි. එමෙන්ම යම්කිසි පුද්ගලයෙකු මියගිය පසු බෞද්ධයන් විසින් නිවස ඉදිරිපිට සුදු කොඩියක් ප්‍රදර්ශනය කරනු ලබයි. එමගින් නිවසේ යම්කිසි පුද්ගලයෙකු මියගොස් ඇති බව ගම්වැසියන් වටහාගනියි. මෙයද නිර්වාචිකව සන්නිවේදනය සිදු වූ අවස්ථාවකි. එසේම තවද දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය භාවිතා වන අවස්ථා ලෙසට මිනිසුන් අතීතයේ පමණක් නොව වර්තමානයේ දී වර්ෂාවක් පැමිණෙන බව අහසේ ඇතිවන අඳුරු පැහැ වලාකුළු මගින් සන්නිවේදනය කර ගනී. එසේම නාට්‍ය , අභිරූපණ, රංග, චිත්‍ර හා කැටයම් කලා මගින්ද නිර්වාචික සන්නිවේදනයේ යෙදේ. මෙහිදී නාට්‍යක විවිධාකාර චරිත මේ මේ වශයෙන් වෙන්කොට හඳුනා ගන්නේ හැඳ සිටින ඇඳුම් පැළඳුම්, වේශ නිරූපන පාදක කොටගෙනය. එලෙසම අභිරූපන රංගන මගින්ද අත් පා හැසිරවීම්, මුහුණේ ඉරියව් දෙස බලා සිටීම තුළින් අර්ථය වටහා ගත හැකිය. මෙහි දී ද සිදුවන්නේ දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය භාවිතයකි.
වර්තමානය ගත්හොත් රාජ්‍ය උත්සවවල ජාතික කොඩිය අඩකුනු කර ඔසවා තිබීම දකින්නට ලැබේ. එවිට මෙම දැකීම් තුළින් අප වටහා ගන්නේ එසේ සිදුකර ඇත්තේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමක් බවය. තවද මහා මාර්ගයේ සංඥා වලට අමතරව කහ ඉරි වර්තමානයේ සුදු ඉරි දක්නට ලැබේ. එය දෘශ්‍ය වීම මගින් අපට සන්නි සන්නිවේදනය වන්නේ මෙම ස්ථානයෙන් පාර මාරු වීමට සුදුසු බවයි. එය මාර්ගයේ දී එක් එක් පුද්ගලයා වෙන වෙනම දැනුවත් කිරීමට අවශ්‍ය නොවේ. ඔවුන් කහ ඉර දුටු විගස එය වටහා ගනී. එසේම රියදුරන් ඉදිරියෙන් පාසලක් රෝහලක් ඇති බවට කල්තියාම හදුනාගැනීම සිදු කරන්නේ ඒවාටම ආවේණික සංකේත හේතුවෙනි. වර්තමානය වන විට රියදුරන් ඉදිරියේ පොලීසියෙන් ඇති බව අනෙක් රියදුරාට පැවසීමට තම වාහනයේ ආලෝකය දල්වා නිවා දමනු ලබයි. මේවා සියල්ල වටහා ගන්නේ දැකීම හේතුකොටගෙනය.
එසේ නම් අපට මෙයින් පසක් වනුයේ මිනිසාට සන්නිවේදනය කිරීම මගින් තොරව ජීවත්විය නොහැකි බවයි. එලෙසම බොහෝ විට සන්නිවේදනය දැකීම තුළින් ඇති වන අතර ඉහත කරුණු කාරණා විමසුමට ගත් විට දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය ක්‍රියාත්මක වන අයුරු දැකගත හැකිය.









.jpg)


.jpg)


