සරලත්වය
සංකීර්ණ අත්දැකීමක් වුව ද නිරවුල් ලෙස සරලව ඉදිරිපත් කිරීම ජනකවියේ තවත් විශේෂ ලක්ෂණයකි, උපමාලංකාර භාවිතයේදී ඒවා ජීවිතයට හැකිතාක් ළං වන අයුරින් පැහැදිලි ලෙස ඉදිරිපත් කර ඇති බව පෙනේ. සරලත්වය ජීවිතය පිළිබඳව පුළුල් අරුත් දීම ජන කවියාගේ අරමුණයි.
"දුර එනකොට වැටකෙයියා මලක් වගෙයි
ළග එනකොට රිදියෙන් කළ වැඩක් වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගෙයි
මගේ මැණිකේ මට මානෙල් මලක් වගෙයි"
අලුත් උපමා රූපක
කවියෙකුගේ ප්‍රතිභාශක්තිය ප්‍රකට කරවන එක් විශේෂ ලක්ෂණයක් ලෙස උපමා රූපක ආදිය භාවිතය දැක්විය හැකියි. පැරණි උගත් කවීන්ට විරුද්ධව නංවා ඇති එක් තර්කයක් නම් ඔවුන් බොහෝ දුරට චිරාගත කවි සමයට වහල් වී ගතානුගතික උපමා රූපක භාවිතා කළ බවයි. එහෙත් සිංහල ජනකවි වල දේශීය පරිසරය ඇසුරින් සකස් කර කරගන්නා ලද රමණීය සංකල්ප රූප දක්නා ලැබේ.
"එක් උන දාට උක් දණ්ඩේ පැණි සේමා
වෙන් උන දාට යක් දෙබරේ වද සේමා
ගොසින් ගොසින් කටු අත්තේ අග සේමා
ඉතින් ළඳේ කරිවිල තිබ්බටු සේමා"
සංක්ෂිප්තභාවය
කවි ශක්තිය ප්‍රකට කරවන්නක් සැලකේ. පෙරදිග මෙන්ම අපරදිග සාහිත්‍ය වේදීන්ගේ මත සිද්ධාන්ත පරිශීලනය කරන විට පැහැදිලි වන්නේ අනවශ්‍ය එකද වචනයක්වත් භාවිත නොකරමින් පිරිමැස්මකින් යුතුව පද්‍ය රචනා කළ යුතු බවයි. මෙම පිරිමැස්මේ ප්‍රතිඵලය සංක්ෂිප්තභාවයයි. ජන කවියේ විශේෂ ලක්ෂණයක් නම් සංක්ෂිප්ත භාවය රැකගනිමින් අපේක්ෂිත වින්දනය නොඅඩුව ලබා දීමට සමත් වීමය.
"මැද වත්තේ සෙල්ලම් පාරකි යන්ට
මල් පිපිලා සුවදේ බැරුවා ඉන්ට
කඩාගන්ට බැහැ අත රිදෙනවා අපට
සාදු සාදු මල් පිපියන් හොඳ රුවට"
සංයමය
කවර කවියකු වුවද නිතරම වෑයම් කරන්නේ කියවන්නා හෝ අසන්නා තුළ හැඟීම් දැනවෙන පරිදි අත්දැකීම සංයමයකින් ප්‍රකාශ කිරීමට ය. එහෙත් පරිණත නිර්මාණාත්මක බුද්ධියකින් යුක්ත කවියා සිය හැඟීම් සංයත ස්වරයකින් ඉදිරිපත් කිරීමට යටත්වේ. මේ ලක්ෂණය බොහෝ ජනකවි වල පෙනෙන්නට ඇත. කාලයක් තිස්සේම අත ගැනීමට බලා සිටි තරුණියක තමාට පිටුපා අනෙකකු හා දීග ගිය බව ඇසූ තරුණයා තම සිත්හි පහළ වූ දුකත් පසුතැවිල්ල කෝපයත් පළ කළ සැටිය මේ.
"ඉරටත් හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා
සදටත් හොරෙන් සද මුදුනෙන් සාවෝ ගියා
මලටත් හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා
මටත් හොරෙන් කළු එතනා දීග ගියා"
වචන භාවිතය
ජන කවියේ යෙදෙන පද මාලාව භාව පූර්ණය. අර්ථ රසයෙන් මෙන්ම ශබ්ද රසයෙන්ද අනූනය. එහෙයින් ධ්වනිතාර්ථවත්ය.
"මැණික් කරඬු කට ලා කිරි බොන කුමරු"
"රන්ලිය වැලකි සිරි හස්තය කුමරු පිට
පින්කද බිසව සැතපෙන සැටි දුටු නෙතට"
"කැකුළු තිසර ඔසරියෙන් වසා ගෙන
රුකුළු වළලු දෑතේ නද දී ගෙන"
අවස්ථා නිරූපණය
කිසියම් මානුෂික අවස්ථාවක් ඉතා සජීව ලෙස නිරූපණය කිරීමට සමත් වන්නේ ශූර කවියෙකු මය. නිරායාසයෙන් මෙන් මානුෂික අවස්ථා ජීවමානාකාරයෙන් සිතුවම් කිරීමට ජන කවීහු සමත් වෙති.
"ලප සේ විලසේ දවසක් වෙන්නුවෙම්මා
එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකි අපි නිතියෙම්මා
සැප සේ අපි දැන් දුන්නෙත් වදුවෙන්ව ද අම්මා
අප සේ පිය රජුනි දනට අම්මා"
විවිධ විරිත්
අවස්ථාවට සරිලන පරිදි විවිධ වෘත්ත උපයෝගී කරගැනීමෙහිලා සිංහල ජනකවියා දක්වා ඇත්තේ මහත් නිපුනණත්වයකි. දරු නැළවිලි, ඔන්චිලි වාරම්, ලී කෙළි, එළුවන් කෙළි, කළගෙඩි සෙල්ලම, ගොයම් කවි යනාදිය පරීක්ෂාකරන විට මේ බව පැහැදිලි වේ.
හාස්‍ය
හාස්‍ය රසය මගින් විවිධ අත්දැකීම්වල සංකීර්ණත්වය පෙන්නුම් කිරීම ජන කවියේ ලක්ෂණයකි. එමෙන්ම එය ඒ ඒ කවීන්ගේ ජිවිතාවබෝධය හා පරිණත බුද්ධිය පිළිබිඹු කරන්නක් වේ. අපේ ජීවිතයේ කවර අවස්ථාවක දී වුව දුක් කම්කටුලු තුළින් විනෝදයක් හා හාස්‍ය විදීම ගැමියාගේ සිරිතකි. එකේ මේ ගුණය ජන කවියෙන් ද පිළිබිඹුවේ.
"අම්බලමේ පිනා පිනා
වලං කඳක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා"
නවීනත්වය
කාව්‍ය විෂයයෙහි නවීනත්වය යන සංකල්පය දෙයාකාරයකට විග්රහ කළ හැකිය. පළමුවැන්න කාලයට අනුව කරනු ලබන විග්රහයයි. එනම් වර්තමාන අවධියට අයත් සියලු කාව්‍ය රචනා නවීන රචනා වශයෙන් සලකීමයි. දෙවැන්න නම් අභ්‍යන්තර ලක්ෂණවලට අනුව කරනු ලබන විග්රහයි. මේ අනුව පැරණි යුගයට අයත් රචනයක වුවද නවීනත්වයක් තිබිය හැකිය. සිංහල ජන කවිය් අතරද නවීනත්වයෙන් යුත් රචනා එමට සොයා ගත හැකිය.
හොඳ උත්සහයක්..දිගට ම ලියන්න..ජය..!!!
ReplyDeletegood
ReplyDeletedone
ReplyDeleteවැදගත්
ReplyDelete