Wednesday, October 5, 2022

සමාජ මානව විද්‍යාව නිර්වචන ඇසුරින් හැඳින්වීම


18 වන සියවෙස්දී ආරම්භය ලද මෙම විෂය ක්ෂේත්‍රය තුළදී මනුෂ්‍ය වර්ගයා පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් සිදු කරනු ලබයි. මෙය හුදෙක් චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ගුරු කර ගනිමින් මිනිසාගේ පරිණාමය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යනයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා මිනිසාගේ විකාශනය සම්භවය ජීවන රටා සිරිත් විරිත් යන ආදිය පිළිබඳවත් සිදු කරනු ලබන අධ්‍යනයක් ලෙස මෙය හැදින්විය හැකි අතර එය කාළය හා ස්ථානය මත රැදී සිදු කරන්නක් ලෙස හැඳින්විය හැකිය. මානව විද්‍යාව ප්‍රධාන ලෙසම බැදී පවතින්නේ  "මිනිසාගේ පැවැත්ම” යන ප්‍රස්තුතය මතයි. එහිදී වර්ථමානය ,අතීතය හා අනාගතය, ජීව විද්‍යාත්මක සාධක, සමාජය ,සංස්කෘතිය, හා භාෂාව යන ප්‍රපංචයන් සලකා බලයි. ඒ අනුව මූලිකවම මානව විද්‍යාව යනු මිනිසා පිළිබඳව අධ්‍යනය කරන විෂයක් බව මෙහිදී පෙනී යයි.  එහිදී මිනිසා පිළිබඳව අධ්‍යනය කිරීම කරනු ලබන්නේ කෙසේද? තව දුරටත් විස්තරාත්මකව සොයා බැලිය යුතුය. එහිදී සමාජ මානව විද්‍යාව සම්භන්ධයෙන් ඉදිරිපත් වී ඇති සුප්‍රකට නිර්වචන විග්‍රග කළ හැකිය. 

සමාජ මානව විද්‍යාවේ ආරම්භය සඳහා කදිම පසු තලයක් සපයා දෙන ලද්දේ කාර්මික විප්ලවයේ නව නිපැයුම් හා තාක්ෂණික දියුණුවයි. එහි ප්‍රතිපලයත් සමගම මානව විද්‍යාඥයෝ ලොව පුරාම විසිරී තිබී විවිධ ජන කොටස්, ගෝත්‍රික සමාජ තත්ත්ව ගවේෂණයට උත්සුක වීය. මෙවැනි පසුබිමක් මානව විද්‍යාවේ ආරම්භයට බලපෑ හෙයින් ඇතැම් විචාරකයින් මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.

 "සමාජ මානව විද්‍යාව බටහිර අධිරාජ්‍යයේ දියණියයි.”
එසේම යුරෝපීය පුනරුද ව්‍යාපාරයද සමාජ මානව විද්‍යාවේ ආරම්භයට මහත් රුකුලක් විය. ඒ බව බව හේතු කොටගෙන එවන්ස් ප්‍රිවාඩ් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
 "සමාජ මානව විද්‍යාව පුනරුදයේ දරුවෙකු ලෙස අර්ථ කථනය කළ හැකිය.”
- එවන්ස් ප්‍රිවාඩ් -
දහ අටවන සහ දහනව වන සියවස් තුළ ඇතැම් දාර්ශනිකයින් අතර පැතිරී ගිය පරිණාමවාදී අදහස් ද මානව විද්‍යාව ආරම්භ වී විෂයක් ලෙස වර්ධනය වීමට බලපෑවේය. ඒ බව බව හේතු කොටගෙන මයිකල් ස්කුලින් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
 "පොළවේ තිබෙන විවිධත්වයන් හා මිනිසා පරිණාමය වන්නේ කෙසේද ඊළඟ පරම්පරාව හෝ දෙක තුළ මිනිසාගේ වෙනස් වීම් ආදිය මානව විද්‍යාව තුළින් අධ්‍යයනය කරයි.” 
- මයිකල් ස්කුලින් - 
මෙහි පරිණාමවාදයෙන් අදහස් වූයේ මානව ශිෂ්ටාචාරය සරල හෝ නොදියුණු අවස්ථාවක සිට සංකීර්ණ හෝ දියුණු අවස්ථාවක් දක්වා විකාශනය වීමයි.
නිදසුන් :
ස්වාභවික වූ චාල්ස් ඩාවින් සත්ව පරිණාමය පිළිබඳව දත්ත රැස් කරමින් ලියූ සත්වයාගේ සම්භවය නම්  කෘතිය මුලාශ්‍රය කරගනිමින් මානව විද්‍යාඥයෝ මෙම අධ්‍යයන සිදු කිරීම.
මානව විද්‍යාවේ පියා බි්‍රතාන්‍ය ජාතික ඊ. බී. ටයිලර් ප්‍රාථමික සංස්කෘතිය නම් කෘතිය පරිණාමවාදී අදහස මුල් කොට ගනිමින් ලිවීම.
ඉංග්‍රීසි ජාතික මැක්ලෙන්ඩ් ප්‍රාථමික විවාහය නම් කෘතිය ලිවිම. ( ඥාතීත්වය හා පවුල පරිණාමය වූ අන්දම එහිදී බහු විවාහ ක්‍රමය ඒක විවාහ ක්‍රමය දක්වා පරිණාමය වූ අයුරු පිළිබඳව අධ්‍යයනය කිරීම.)
බි්‍රතාන්‍ය ජාතික ශ්‍රීමත් ජේම්ස් පරිණාමවාදය මුල් කොට ගනිමින් අභිචාර ආගම හා විද්‍යාව මානව විද්‍යාත්මක සංසිද්ධීන් තුනක් බව ප්‍රකාශ කිරීම.
ස්වභාවික විද්‍යාවන්ගේ දියුණුව හේතුකොට ගෙන මානව විද්‍යාව වර්ධනය වූ අතර ඒ සඳහා ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, කායික විද්‍යාව, භූ ගර්භ විද්‍යාව වැනි විෂයන් මානව විද්‍යාවේ පෝෂණයට මහත් රුකුලක් විය. ඒ බව බව හේතු කොටගෙන මයිකල් බ්‍රයන් ෂිෆර් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
"මෙම පෘතුවියේ මුළු මිනිස් අත්දැකීම ගැන සාක්ෂි ලබා ගැනීමට හැකි එකම  විධිය වන්නේ මානව විද්‍යාවයි.” 
- මයිකල් බ්‍රයන් ෂිෆර් - 
ස්වභාවික විද්‍යාවන්ගේ දියුණුව හේතුකොට ගෙන මානව විද්‍යාව වර්ධනය වූ අතර ඒ සඳහා ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, කායික විද්‍යාව, භූ ගර්භ විද්‍යාව වැනි විෂයන් මානව විද්‍යාවේ පෝෂණයට මහත් රුකුලක් විය. පෘතුවිය හා ජීවින් ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිපලයක් බවය යන අදහස ඉදිරිපත් වීමත් සමගම ඒ සියල්ල දේව නිර්මාණය යන මිත්‍යා අදහස බිඳ වැටුණි. ඒ සඳහා දායක වූයේ මානව විද්‍යාවේම උප විෂයක් වූ භෞතික මානව විද්‍යාවයි.
නිදසුන් : 
විවිධ ප්‍රදේශවලින් ලැබුණු පාෂාණ ධාතු බවට පත් වූ අතීත යුගවල පැවති ශාක හා සත්ව කොටස් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමින් ඒවා විශ්ලේෂණය කරමින් මිනිසා ස්වාභවික සත්වයෙකි යන අදහස ඉදිරිපත් කිරීම මානව විද්‍යාව තුළින් සිදු විය.
1948 දී  John Gillin  යන විද්‍යාඥයා  “The Ways of Man”    හි මානව විද්‍යාව යනු කුමක්දැයි නිර්වචනයකින් පෙන්වා දී  ඇත.
 "මානව විද්‍යාව, කෙටියෙන් කීවොත් මානව වර්ගයා පිළිබඳ සියලුම තොරතුරු මිනිසා ලොව වාසභූමි ඇති කරගත් ආකාරය පරීක්ෂා කර බලන විෂයකි.“
John Gillin - “The Ways of Man” (1948)
 "මානව විද්‍යාව මිනිසා පිළිබඳ විද්‍යාවයි. එක් අංශයකින් එය ස්වභාවික ඉතිහාසයේ එක් ශාඛාවක් වැන්න. මිනිසාගේ ස්වභාවය මෙන්ම, අනෙක් පාර්ශවයන් අතර මිනිසා කිනම් තත්ත්වයක් උසුලන්නේ ද යන්න විමසා බැලේ.”
A.E.Crober - “Anthoropology”
සමාජයේ වෙසෙන මිනිසාගේ කාර්යයන් හා චර්යා රටාවන් ද, ඔවුන්ගේ නිෂ්පාදනයන් ද, මිනිස් කණ්ඩායම්වල සංයුතිය හා ස්වභාවය වැනි ඒවාද මෙමඟින් අධ්‍යනය වේ. එනම් මේ පිළිබඳව 1935 දී T.K.Penniman යන විද්‍යාඥයා   “A Hundred Years of Anthropology” හි මානව විද්‍යාව යනු කුමක්ද යන්න නිර්වචනයක් සපයා දෙමින් විග්‍රහ කර ඇත.
"මානව විද්‍යාව මිනිසා පිළිබඳ විද්‍යාව වේ. එය විද්‍යාවක් අතර ප්‍රධාන වේ. පළමුකොට ඉන් සොයා බැලෙන්නේ මිනිසාගේ ජීව විද්‍යාත්මක ස්වභාවයයි. දෙවනුව සත්ව වර්ගයා අතර, පුරාතනයේ මිනිසා කවර තැනක් ඉසුලුවේද යන්නයි.”
T.K.Penniman - “A Hundred Years of Anthropology” (1935)
මෙහිදී මිනිස් ජීවියාගේ සමස්ත ජීවිතයම විද්‍යාත්මකව අධ්‍යනය කිරීම මානව විද්‍යාව ලෙස හඳුන්වා ඇත. මිනිසාගේ කායික වර්ධනය සිදු වූ අවස්ථාවේ සිට මිනිසා සම්පූර්ණ මිනිසකු බවට පත්වන අවස්ථාව දක්වාම අද්‍යනය කිරීම මානව විද්‍යාවෙන්  විවරණය කරනු ලබයි. මිනිසා කලල රූපික තත්ත්වයේ සිට සාමාජීය සත්වයකු ලෙස මුහුකුරා වැඩි සමාජයට අනුයෝජනය වීමේ ක්‍රියාවලිය එනම් සමාජානුයෝජනය වන තෙක්ම මානව විද්‍යාවේ තියුණු විමර්ශනයට බඳුන් වන බව මෙම නිර්වචනයෙන් පැහැදිලි වේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම වර්තමානයේ ජීවත්වන මිනිසාගේ ජීව විද්‍යාත්මක, පරිසරාත්මක, සමාජ විද්‍යාත්මක දත්ත ගවේෂණයන්ට මානව විද්‍යාඥයා හුරු වී සිටින බවද මෙම නිර්වචනයෙන් පැහැදිලි වේ. එසේම මෙයින් තව දුරටත් විග්‍රහ වනුයේ මානව විද්‍යාව අධ්‍යනයේදී මානව විවිධත්වයන් පදනම් කර ගෙන මිනිසා වනර යුගයේ සිටම දියුණු යුගය දක්වා වර්ධනය වූ ආකාරය එසේ පරිණාමය වීමේදී මානවයා පාරිසරික වෙනස්කම් වලට මුහුණ දුන්නේ කෙසේද? යන්න විමසා බලයි. පොදුවේ ගත් කළ මානව විද්‍යාව මගින් මිනිසා ගැන හදාරන්නේ මිනිස් ශරීරවල දැකිය හැකි ලක්ෂණ, විවිධතා, ශරීර සැකැස්ම, ජීව විද්‍යාත්මක මෙන්ම ශරීරාභ්‍යන්තරයේ හා ප්‍රවේණිය වැනි ලක්ෂණද විමසා බැලේ. පුරා වස්තු, ආදියේ මිනිස් අවශේෂ, මිනිසාට සම්බන්ධ ශාඛා සත්වමය අවශේෂ හා මිනිස් වාසය පස් ස්තරවල නියැඳි මෙන්ම කාල නිර්ණයන් සිදු කිරීමද මෙහිදී සිදු කරයි.  මේ සඳහා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කර ඇති පහත නිර්වචනයද මානව විද්‍යාව යන්න හඳුනා ගැනීමට උපකාරී වේ.
"සමාජීය, සංස්කෘතික, ජෛව විවධත්වය, ඓතිහාසික, පාරිසරික වෙනස්කම්වල ගතික ක්‍රියාවලිය පිළිබඳව මානව විද්‍යාවෙන් අවබෝධ වේ.” 
-ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය (මානව විද්‍යා දෙපාර්තමේන්තු වෙබ් අඩවිය)  

ලෝකප්‍රකට පෝට්ලන්ඩ් ප්‍රජා විද්‍යාලය විසින්ද මානව විද්‍යාව පිළිබඳව නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්,
"මානව විද්‍යාව මිනිසුන්ගේ අධ්‍යනයයි. මෙම විෂය තුළ දී, ජනතාවගේ වර්තමාන මෙන්ම ප්‍රාග් ඓතිහාසික අතීතයේ මෙන්ම මිනිසුන්ගේ පැවැත්ම, ඒවායේ ජෛව සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳව සලකා බලනු ලැබේ. මෑත හා වර්තමාන මානව අනුගතවීම් අගය කිරීම සඳහා සිසුන් හා ඔවුන්ගේ පරිසරයන් අතර අන්තර් සබඳතාවයන් හඳුන්වාදීම හඳුන්වා දෙනු ලැබේ.” 
- පෝට්ලන්ඩ් ප්‍රජා විද්‍යාලය -
මෙම නිර්වචනය අනුව මානව විද්‍යාව තුළ මිනිසාගේ සංස්කෘතික විවිධත්වය පිළිබඳවද අධ්‍යනය කරයි. මෙහි සංස්කෘතික විවිධත්වය යනුවෙන් හඳුන්වා ඇත්තේ මානව සමාජයේ පවතින යම් යම් සංස්කෘතීන්හි ඇති වෙනස්කම් හා ඒ ඒ සංස්කෘතීන්ට පොදු වූ අනන්‍යතාවන්ය. එනම් මෙහිදී මෙම සංස්කෘතීන් තුළ සිටින ජනතාවගේ සාමාජික ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යනය කරයි. සමාජ මානව විද්‍යාඥයා තමා අධ්‍යනය කරන සමාජය පුළුල් ලෙස සමස්ත ලෙස මෙහිදී අධ්‍යනය කරයි. මේ සඳහා සමාජ මානව විද්‍යාඥයෝ මානව විද්‍යාත්මක නිරීක්ෂණ භාවිත කරයි. මෙම මානව විද්‍යාත්මක නිරීක්ෂණවලදී පුරා විද්‍යාත්මකව අදාල සමාජවල පෙර ඉතිහාසය හා ඓතිහාසික මුලාශ්‍ර ප්‍රධාන ලෙස නිරීක්ෂණය කරනු ලබයි.
නිදසුන් : 
ජේම්ස් ප්‍රේසර් - රෝමන් සංස්කෘතිය හා හීබ්‍රෑ වරුන්ගේ සමාජය 
රොබට් ස්මිත් - ආදී අරාබියානු හා හයුබට් හා ෂෙල්ට්ස් වරුන්ගේ සමාජය 
එසේම මානව විද්‍යා ක්‍රමවේදයන් භාවිතයෙන්ද සමාජ මානව විද්‍යාඥයෝ විවිධ සමාජ සංස්කෘතීන්හි ජිවත්වන මානවයා  පිළිබඳව අධ්‍යනය සිදු කොට ඇත. එහිදී විශේෂයෙන් මානව විද්‍යාඥයෝ තොරතුරු එකතු කර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය ලෙස සහභාගිත්ව නිරීක්ෂණය යොදා ගනියි. එහිදී සිදුවන්නේ පර්යේෂකයා අදාල ක්ෂේත්‍ර සමාජයේ  ප්‍රජාව අතරට ගොස් ඔවුන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි.
නිදසුන් : 
රේමන්ඩ් පර්ත් - ටිකෝපියා සමාජය 
මැලිනවොස්කි - ත්‍රෝබියානු සමාජය 
එවන්ස් ජිවාඩ් - නුවර් සමාජය
එසේම මුල් කාලීන මානව විද්‍යාඥයෝ ජනගහනය සිමා වූ සරල තාක්ෂණයක් පැවති, ලිඛිත ඉතිහාසයක් නොමැති ප්‍රාථමික සමාජ අධ්‍යනයට පෙළඹුණු අතර නූතනයේ බොහෝ මානව විද්‍යාඥයෝ ප්‍රාථමික නොවන සමාජ පිළිබඳවද අධ්‍යනය අවධානය යොමු කළහ. 
නිදසුන් : 
ඇමරිකානු මානවවිද්‍යා ක්ෂේත්‍රය තුළ ජපානය, චීනය, අයර්ලන්තය, මෙක්සිකෝව,                                         වැනි නූතන සමාජ පිළිබඳ අධ්‍යනය කිරීම.
රුත් බෙනඩික් - ජපානය 
කොනාර්ඩ් අරෙන්ස්බර්ග් - අයර්ලන්තය 
රොබට් රෙඩ්පීල්ඩ් - මෙක්සිකෝව (ගැමි සමාජය)
මෙම නිර්වචනයන්ගෙන් විග්‍රහ වන්නේ සමාජ මානව විද්‍යාව තුළ මිනිසාගේ පැවැත්මට අදාල වූ විවිධ සංස්කෘතීන් හා සමාජයන්ගේ විවිධත්වයද අධ්‍යනය වන බවයි. ඒ බව 
ජේ.එච්.එම්. බීට් නම් සමාජ මානව විද්‍යාඥයා වරක් ප්‍රකාශ කර ඇති කියමනකින් මානව විද්‍යාව පැහැදිලි වේ. එනම්, 
"මානව විද්‍යාඥයන් සොයා බලන්නේ අනුන්ගේ සංස්කෘතිය ගැනය. ඔවුන් තමන්ගේ රට පිළිබඳව අධ්‍යනය නොකරයි” බවයි. ඔහු සමාජ මානව විද්‍යාව පිළිබඳව ලියූ කෘතියටද නම් තබන ලද්දේ "වෙනත් සංස්කෘතීන්” ලෙසයි.
ලෝකප්‍රකට බටහිර වොෂිංටන් විශ්ව විද්‍යාලය මානව විද්‍යාව නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්, 
"මානව විද්‍යාව යනු කුමක්ද යන්න යන්නෙන් අදහස් කෙරෙන්නේ, මානව විද්‍යාව යනු අතීතයේ හා වර්තමානයේ සියලු සංස්කෘතීන්වල මානව සංස්කෘතියේ විද්‍යාත්මක අධ්‍යනයයි.”
 - බටහිර වොෂිංටන් විශ්ව විද්‍යාලය  - 
මෙම නිර්වචනයෙන්ද පැහැදිලි වන්නේ මානවයාගේ අතීතයේ හා වර්තමානයෙ සියලු සංස්කෘතීන් මානව විද්‍යාවෙන් අධ්‍යනය කරන බවයි.
මානව විද්‍යාව අර්ථ ගන්වන තවත් නිර්වචනයක් ලෙස 1967 දී Jesse D. Jennings  විසින්  "Reading in Antropology” හි දක්වන ලද පහත නිර්වචනය සැලකිය හැකිය. එනම්,
"මානව විද්‍යාව මනුෂ්‍යත්වය පිළිබඳ අධ්‍යනයකි. එහි අරමුණ වන්නේ භාෂාවේ වැදගත්කම හා සංස්කෘතිය විසින් මිනිසා හා විශ්වය සමග ඇති සම්බන්ධතාව කෙසේ නිර්වචනය කර ඇත්ද යන්න සොයා බැලීමයි.”
Jesse D. Jennings -  “Reading in Antropology” (1967)
එහි ප්‍රධාන ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ මානව විද්‍යාව භාෂාවේ ඇති වැදගත්කම හා මානව විද්‍යාව හා භාෂාව අතර ඇති සම්බන්ධතාව පිළිබිඹු කරන විද්‍යාවක් ලෙස සඳහන් කර තිබීමයි. මානව විද්‍යාඥයා අනිවානිවාර්යයෙන්ම ප්‍රකෘති භාෂාව පිළිබඳ දැනුමක් ඇති අයකු විය යුතුය. භාෂාව තුළින්  රටකට ආවේණික සංස්කෘතික ලක්ෂණද, චින්තන ක්‍රමද, තේරුම් ගැනීමට හැක. භාෂාව හා මානව විද්‍යාව අතර අදියර තුනක් යටතේ වූ සම්බන්ධතාවක් දැකිය හැකිය. එනම්,
1. තාක්ෂණික අදියර 
2. ප්‍රයෝගික අදියර
3. ව්‍යාඛ්‍යාන අදියර
තම ටිකෝපියා ගෝත්‍රික සමාජය පිළිබඳ අධ්‍යනයේදී රේමන්ඩ් ෆර්ත් නම් මානව විද්‍යාඥයා භාෂාව හා මානව විද්‍යාව අතර  කිට්ටු සම්බන්ධතාක් දක්වා ඇත. ඔහු දක්වා ඇත්තේ භාෂාව යම් රටක සංස්කෘතියෙහි එක්තරා හරස් කඩක් ලෙස දැක්විය හැකි බවයි. ෆර්ත් මෙම සම්බන්ධය තුන් ආකාරව දක්වා ඇත. එනම්,
1. එක් භාෂාවක් සහ එක් සංස්කෘතියක් අතර ඇති සම්බන්ධය 
2. භාෂාව හා සංස්කෘතිය අතර ඇති පුළුල් සම්බන්ධතාවය  
3. විද්‍යාත්මක විනය ක්‍රමයක් වාග් විද්‍යාව හා මානව විද්‍යාව සමඟ පවත්වන සම්බන්ධතව  
මෙම සම්බන්ධතා තුනෙන් කවරකට හෝ යටත් වීමට මානව විද්‍යාඥයාට සිදු වන බව ෆර්ත් දක්වා ඇත.
සමාජ මානව විද්‍යාව තවත් ආකාරයකට නිර්වචනය කරන්නේ නම්, 
"සියලු මිනිස් ප්‍රජාවන්ට අදාළ වන හැසිරීම් පිළිබඳ ප්‍රතිපත්ති අනාවරණය කිරීමට මානව විද්‍යාව උත්සාහ කරයි. මානව විද්‍යාඥයෙකුට, ශරීරයේ හැඩයන් හා ප්‍රමාණ, චාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, කථාව, ආගම සහ ලෝක දර්ශනය තුල දැකිය හැකිය. ඕනෑම ප්‍රජාවක් තුළ ජීවිතයේ ඕනෑම අංගයක් අවබෝධ කර ගැනීම සඳහා රාමුවක් සපයයි.”
- ඇමරිකානු මානව විද්‍යා සංගමය - 
දැක්විය හැකිය. ඇමරිකානු මානව විද්‍යා සංගමය විසින් මානව විද්‍යාව නිර්වචනය කර ඇත්තේ මිනිස් ප්‍රජාවට අදාළ වන හැසිරීම් අධ්‍යනය කරන විෂයක් ලෙසයි. මෙහි මිනිස් ප්‍රජාවට අදාළ හැසිරීම් අධ්‍යනය සඳහා මිනිසාගේ ජිවිතයේ සෑම අංගයක්ම අවබෝධ කර ගැනීමට සිදු වන බව මින් පැහැදිලි වේ. විවිධ සමාජ තුළ විවිධ සංස්කෘතීන් තුළ ජිවත්වන මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර , ආගම් සහා අභිචාර විධි, ඇඳුම් පැළඳුම්, භාෂා විලාසයන් යන මෙම සියලුම අංග මානවයාගේ හැසිරීම් මත බලපායි. කාලීනව සංස්කෘතියේ වූ යම් යම් වෙනස්වීම් සමඟ මානවයාද වෙනස් වීමට මෙම හැසිරීම් බලපා ඇතැයි කිව හැක.

මිනිසාගේ හැසිරීම් කෙරෙහි බලපාන සුවිශේෂී අංගයක් ලෙස ආගම දැක්විය හැකිය. මිනිස් ඉතිහාසයේ ආගමික යුගය කොතරම් පැරණිද කිවහොත් එය භාෂාවේ ආරම්භයටද වඩා ඈතට දිව යයි. 
නිදසුන් : 
පරිණාමවාදයේ පියා ලෙස චාල්ස් ඩාවින් එච්.එම්.එස්. බිගල් නම් නෞකාවෙන් පස් වසරක් තුළ කල ලෝක සංචාරයේදී ලොව ඉපැරණිම ගෝත්‍රික ජනතාවක් වන පියරාඩෙල් පියුගෝ ගෝත්‍රිකයන් අතරට පැමිණ කළ අධ්‍යනය ආගම සම්බන්ධයෙන් වැදගත් අධ්‍යනයකි. එයින් වාර්තා වුයේ ඔවුන් අතර කිසිදු ආගමික විශ්වාසයක් නොතිබුන බවයි.
එම්.ගුසින්ඩ් නම් මානව විද්‍යාඥයා ආදිතම පියුගෝ ගෝත්‍රිකයින්ගේ ආගම පිළිබඳ අධ්‍යනය කර ඇත. එයින් අනාවරණය වූයේ පියුගෝ ගෝත්‍රිකයන් තුන් වර්ගයක් නම් තුනකින් ශුද්ධ නායකයෙකු අදහන බවයි.
ඩබ්. සච්මින්ඩ් නම් මානව විද්‍යාඥයා පිග්මී නම් ගෝත්‍රිකයන් අතර පැවති එක්තරා ආකාරයක දේව වාදයක් පිළිබඳ අධ්‍යනය සිදු කර ඇත.
ප්‍රේසර් නමැති මානව විද්‍යාඥයා ආගම හා අභිචාර සම්භන්ධව මානව විද්‍යාත්මක අධ්‍යනයක් සිදු කර ඇත. එහිදී දිව්‍යමය රජවරුන්ගේ බිලි පූජාව පිළිබඳව මානව විද්‍යාත්මක පර්යේෂණයක් කර ඇත.
එසේම මෙම නිර්වචනයට අනුව සමාජ මානව සමාජයක ජිවත්වන මිනිසාගේ ශරීරයේ හැඩයන් ප්‍රමාණ, වර්ණ භේදය, වයස් ප්‍රමාණය, බාහිර පෙනුම ආදී ජීව විද්‍යාත්මක සාධක සැලකිල්ලට ගනිමින් අධ්‍යයන කටයුතු සිදු කරයි. 
නිදසුන් :
බටහිර රටවල සමේ වර්ණය අනුව කළු සුදු භේදයක් ඇත. මේ නිසා සමාජය තුළ පදිංචි ප්‍රදේශ පවා වෙන්කර ගනියි.
ඕස්ටේ්‍රලියාවේ මුල් පදිංචිකාර ගෝත්‍රික වැසියන්ගේ සමාජ වල වැඩි බලයක් හා ගරුත්වයක් හිමි වූයේ වයෝවෘද්ධ  පුද්ගලයින්ටය.
කඩවසම් හා රූ ස්වභාවයෙන් යුතු වීම, මනා ශරීර සෞඛ්‍යය හා පුද්ගල ශක්තිය මත සමාජය තුළ මිනිසුන්ගේ පෞරුෂත්වය අධ්‍යනය කිරීම සමාජ මානව විද්‍යාව තුළින් සිදුවේ.
සමාජ මානව විද්‍යාව උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලය නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්, 
"මානව විද්යාව යනු ලොව වටා මානව විවිධත්වය අධ්‍යනය කිරීමයි. මානව විද්‍යාඥයන් සමාජීය සංස්ථා, සංස්කෘතික විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, නීති රීති සහ සන්නිවේදන ස්වරූප අතර අන්තර් සංස්කෘතික වෙනස්කම් දෙස බලයි. ඔවුන් නිතරම එක් එක් සංස්කෘතියට පරිවර්තනය කිරීම මගින් කණ්ඩායම් අතර අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරයි.”
- උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලය -
මෙමගින් විග්‍රහ වී ඇත්තේද මානවයාගේ විවිධත්වය අධ්‍යනය කිරීම සමාජ මානව විද්‍යාවෙන් සිදු වන බවයි. මෙහි තව දුරටත් දක්වා ඇත්තේ මානව සමාජීය සංස්ථා තුළ පවතින සංස්කෘතික සංසන්දනාත්මකව අධ්‍යනය කරන බවයි. මෙහිදී වැදගත් වන ප්‍රධාන කරුණක් ලෙස කිව හැක්කේ සමාජ සංස්ථා තුළ දැකිය හැකි ඥාතීත්වයල අවාහ විවාහ, චාරිත්‍ර වාරිත්‍ර, නීති රෙගුලාසි, විවිධ සන්නිවේදන ස්වරූපයන් පිළිබඳව අධ්‍යනය සමාජ මානව විද්‍යාවෙන් මූලිකවම සිදු වන බවයි.
ඥාතීත්වය පිළිබඳව සැලකීමේදී මානව විද්‍යාව තුළ අධ්‍යයනය වන ප්‍රධාන දෙයක් ලෙස ඥාතීත්වය දැක්විය හැකිය. මිනිසා විසින්ම මිනිසා අතර  ඇති කර ගත් සම්බන්ධතා මෙයට අයත් වේ. ඒ අනුව පෙනී යන්නේ මානව විද්‍යාව තුළ ඥාතීත්වය අධ්‍යයනය කළද ප්‍රමුඛ ලෙසම අධ්‍යයනය වන්නේ මිනිසා පිළිබඳව වීමයි.
නිදසුන් : 
ඇමරිකානු ජාතික ලුවිස් හෙන්රි මෝගන් ඥාතීත්වය පිළිබඳ  අධ්‍යනයෙහි පුරෝගාමී වූ මානව විද්‍යාඥයා වේ. ඔහු අධ්‍යයනය කළ ප්‍රධාන තේමාව වුයේ ප්‍රාථමික සමාජ වල දක්නට ලැබුණු ඥාතී පද මාලාවයි. එහිදී ඉරාකුවා ගෝත්‍රයේ භාවිත කරන ඥාතී පද ඥාතීන් කිහිපදෙනෙකුටම පොදුවේ භාවිත කරන බව ඔහු දැක්විය.
ඒ.ඊ. ක්‍රෝබර් නම් මානව විද්‍යාඥයා පරම්පරාවක වයස් මට්ටම්වල වෙනස්කම්, ඥාතීන්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය, කිට්ටු ඥාතීන්ගේ ජිවන ස්වභාවය, විවාහ ඥාතීන්ගේ හා ලේ ඥාතීත්වයේ වෙනස්කම්, කිට්ටු ඥාතීන්ගේ ජිවන ස්වභාවය ආදීය අධ්‍යයනය කර ඇත.
ක්‍රිස් හිස්ට් නම් මානව විද්‍යාඥයා මානව විද්‍යාව සම්බන්ධයෙන් මෙසේ අර්ථ කථනයක් දී ඇත. එනම්,
"මානව විද්‍යාවෙන් අධ්‍යයනය වනුයේ මානව වර්ගයාය. එනම්, ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ විශ්වාසයන් හා ජීවත් වන මාර්ගයන්ය.” 
-ක්‍රිස් හිස්ට්- 
විවාහ කටයුතු වලදී සිරිතක් ලෙස සමාන්තර ඥාතී හා හරස් ඥාතී ක්‍රමය අනුගමනය කරයි. සමාන්තර ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහනම්ය. හරස් ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සුදුසුය. සමාන්තර ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහනම් වූ අතර එය ව්‍යභිචාරී තහංචිය ලෙස හැදින්විය.
නිදසුන් :
මැලිනවොස්කි දක්වන ආකාරයට ත්‍රෝබියන්ස් දුපත් වාසීන්ට ව්‍යභිචාරයට දඬුවම මරණයයි. තම මවගේ සොයුරියකගේ දියණිය සේවනය කළ “කිමායි” නම් තරුණයා තම ඥාතීන් ඉදිරියේ අඩි 60ක් උස පොල් ගසකින් පන සිය දිවි නසා ගත බව මැලිනවොස්කි වාර්තා කර ඇත.

එසේම අවමංගල්‍ය කටයුතු වලදීද විවිධ සිරිත් විරිත් පවත්වාගෙන යෑම.
නිදසුන් :
පුද්ගලයාගේ මරණයෙන් පසුව පවා ඥාතීන් විසින් ඥාතීත්වය අත් නොහැරීම, අවමඟුල් චාරිත්‍ර මළවුන් පිදීම, ගුණානුස්මරණ ආදිය සිදු කිරීම.
මෙවැනි ඒවා විවිධ සංස්කෘතීන්ට අනුව වෙනස් වුවද සමාජ මානව විද්‍යාව මඟින් එම විවිධත්වය, වෙනස්කම්, සම්භන්ධතා ආදිය සුවිශේෂී අධ්‍යනයකට ලක් කරයි.
මීට අමතරව බොහෝ විද්‍යාඥයෝ විසින් සමාජ මානව විද්‍යාව යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් විවිධ නිර්වචන සපයා දී ඇති අතර ඉන් තවත් නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
"මානව විද්‍යාව ස්වභාවික විද්‍යාවකි. එසේම මානව විද්‍යාව තුලනාත්මක සමාජ විද්‍යාවකි.”
- රැඩ්ක්ලීෆ් බ්‍රවුන් -
"මානව විද්‍යාව මානව ශාස්ත්‍රයකි. එය ඉතිහාසය හා ඉතා සමීප විෂයකි.”
- එවන්ස් ප්‍රිවාඩ් -
"මානව විද්‍යාව වඩාත් විද්‍යාත්මක හා විද්‍යානුකුල විද්‍යාවයි.” 
- ඇල් ක්‍රෙබර් - 
"මානව විද්‍යාව යනු අතීතයේ හා වර්තමාන මානව සංස්කෘතිය හා ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යනයයි.” 
- බටහිර කෙන්ටකි විශ්ව විද්‍යාලය -
"මානව විද්‍යාව යන මාතෘකාව විෂය කරුණු අතර වඩා සංවේදීය. එය ඉතිහාසය, කොටසක් සාහිත්‍යය ස්වභාවික විද්‍යාව කොටසක් වන සමාජ විද්‍යාව එය ඇතුළේ සිට සහ ඉන් එහා පරික්ෂා කිරීමට උත්සාහ කරයි.” 
- එරික් වුල්ෆ් මානව විද්‍යාව, 1964 -
"මානව විද්‍යාව යනු මානව වර්ගයා පිළිබඳ අධ්‍යයනයි. මිනිසාගේ පැවැත්ම හා ජයග්‍රහණ පිළිබඳව පරික්ෂා කරන සියලු ශිල්පවලින් මානව විද්‍යාව සමන්විත වේ. සම්ප්‍රදායේ සමකාලීන සංස්කෘතික හා සමාජ ජිවිතයේ මානව අත්දැකීම්වල සමස්තය මෙහි ඇතුලත් වේ.” 
- ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලය - 
 "මානව විද්‍යාව සෑම ප්‍රදේශයකම හා සෑම කාලයකදීම මිනිසුන් පිළිබඳව අධ්‍යයනය කරයි.” 
- ට්‍රයිටන් විද්‍යාලය - 

මෙම සියලුම දීර්ඝ නිර්වචනයන්ගෙන් පහැදිලි වන්නේ මානව විද්‍යාව යනු මිනිසා පිළිබඳව විද්‍යාවක් බවයි. ඒ අනුව පොදුවේ මෙම සියලුම නිර්වචන ආශ්‍රයෙන්ල 
 "මානව විද්‍යාව යනුල මිනිසාගේ උපතේ සිට සියලුම කාරණයන් විද්‍යාත්මකව අධ්‍යනය කිරීමයි. එනම් මිනිසා අතීතයේ විසූ ආකාරය, වෙසෙන ආකාරය, ඔවුන්නේ සුවිශේෂි ලක්ෂණ හා ඔවුන් ඓතිහාසිකව පරිණාමය වී ලෝකයේ ඒ ඒ ශිෂ්ඨාචාරයන් ගොඩනගා ගත් අයුරු දක්වාම මානව විද්‍යාවෙන් අධ්‍යනය කරයි.
යන ලෙස මානව විද්‍යාවට පොදු නිර්වචනයක් සැපයිය හැක.

සඳු පූර්ණිමා..
(මූලාශ්‍රයන් සහ ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

1 comment:

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...