Wednesday, October 5, 2022

සමාජ මානව විද්‍යාව නිර්වචන ඇසුරින් හැඳින්වීම


18 වන සියවෙස්දී ආරම්භය ලද මෙම විෂය ක්ෂේත්‍රය තුළදී මනුෂ්‍ය වර්ගයා පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් සිදු කරනු ලබයි. මෙය හුදෙක් චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ගුරු කර ගනිමින් මිනිසාගේ පරිණාමය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යනයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා මිනිසාගේ විකාශනය සම්භවය ජීවන රටා සිරිත් විරිත් යන ආදිය පිළිබඳවත් සිදු කරනු ලබන අධ්‍යනයක් ලෙස මෙය හැදින්විය හැකි අතර එය කාළය හා ස්ථානය මත රැදී සිදු කරන්නක් ලෙස හැඳින්විය හැකිය. මානව විද්‍යාව ප්‍රධාන ලෙසම බැදී පවතින්නේ  "මිනිසාගේ පැවැත්ම” යන ප්‍රස්තුතය මතයි. එහිදී වර්ථමානය ,අතීතය හා අනාගතය, ජීව විද්‍යාත්මක සාධක, සමාජය ,සංස්කෘතිය, හා භාෂාව යන ප්‍රපංචයන් සලකා බලයි. ඒ අනුව මූලිකවම මානව විද්‍යාව යනු මිනිසා පිළිබඳව අධ්‍යනය කරන විෂයක් බව මෙහිදී පෙනී යයි.  එහිදී මිනිසා පිළිබඳව අධ්‍යනය කිරීම කරනු ලබන්නේ කෙසේද? තව දුරටත් විස්තරාත්මකව සොයා බැලිය යුතුය. එහිදී සමාජ මානව විද්‍යාව සම්භන්ධයෙන් ඉදිරිපත් වී ඇති සුප්‍රකට නිර්වචන විග්‍රග කළ හැකිය. 

සමාජ මානව විද්‍යාවේ ආරම්භය සඳහා කදිම පසු තලයක් සපයා දෙන ලද්දේ කාර්මික විප්ලවයේ නව නිපැයුම් හා තාක්ෂණික දියුණුවයි. එහි ප්‍රතිපලයත් සමගම මානව විද්‍යාඥයෝ ලොව පුරාම විසිරී තිබී විවිධ ජන කොටස්, ගෝත්‍රික සමාජ තත්ත්ව ගවේෂණයට උත්සුක වීය. මෙවැනි පසුබිමක් මානව විද්‍යාවේ ආරම්භයට බලපෑ හෙයින් ඇතැම් විචාරකයින් මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.

 "සමාජ මානව විද්‍යාව බටහිර අධිරාජ්‍යයේ දියණියයි.”
එසේම යුරෝපීය පුනරුද ව්‍යාපාරයද සමාජ මානව විද්‍යාවේ ආරම්භයට මහත් රුකුලක් විය. ඒ බව බව හේතු කොටගෙන එවන්ස් ප්‍රිවාඩ් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
 "සමාජ මානව විද්‍යාව පුනරුදයේ දරුවෙකු ලෙස අර්ථ කථනය කළ හැකිය.”
- එවන්ස් ප්‍රිවාඩ් -
දහ අටවන සහ දහනව වන සියවස් තුළ ඇතැම් දාර්ශනිකයින් අතර පැතිරී ගිය පරිණාමවාදී අදහස් ද මානව විද්‍යාව ආරම්භ වී විෂයක් ලෙස වර්ධනය වීමට බලපෑවේය. ඒ බව බව හේතු කොටගෙන මයිකල් ස්කුලින් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
 "පොළවේ තිබෙන විවිධත්වයන් හා මිනිසා පරිණාමය වන්නේ කෙසේද ඊළඟ පරම්පරාව හෝ දෙක තුළ මිනිසාගේ වෙනස් වීම් ආදිය මානව විද්‍යාව තුළින් අධ්‍යයනය කරයි.” 
- මයිකල් ස්කුලින් - 
මෙහි පරිණාමවාදයෙන් අදහස් වූයේ මානව ශිෂ්ටාචාරය සරල හෝ නොදියුණු අවස්ථාවක සිට සංකීර්ණ හෝ දියුණු අවස්ථාවක් දක්වා විකාශනය වීමයි.
නිදසුන් :
ස්වාභවික වූ චාල්ස් ඩාවින් සත්ව පරිණාමය පිළිබඳව දත්ත රැස් කරමින් ලියූ සත්වයාගේ සම්භවය නම්  කෘතිය මුලාශ්‍රය කරගනිමින් මානව විද්‍යාඥයෝ මෙම අධ්‍යයන සිදු කිරීම.
මානව විද්‍යාවේ පියා බි්‍රතාන්‍ය ජාතික ඊ. බී. ටයිලර් ප්‍රාථමික සංස්කෘතිය නම් කෘතිය පරිණාමවාදී අදහස මුල් කොට ගනිමින් ලිවීම.
ඉංග්‍රීසි ජාතික මැක්ලෙන්ඩ් ප්‍රාථමික විවාහය නම් කෘතිය ලිවිම. ( ඥාතීත්වය හා පවුල පරිණාමය වූ අන්දම එහිදී බහු විවාහ ක්‍රමය ඒක විවාහ ක්‍රමය දක්වා පරිණාමය වූ අයුරු පිළිබඳව අධ්‍යයනය කිරීම.)
බි්‍රතාන්‍ය ජාතික ශ්‍රීමත් ජේම්ස් පරිණාමවාදය මුල් කොට ගනිමින් අභිචාර ආගම හා විද්‍යාව මානව විද්‍යාත්මක සංසිද්ධීන් තුනක් බව ප්‍රකාශ කිරීම.
ස්වභාවික විද්‍යාවන්ගේ දියුණුව හේතුකොට ගෙන මානව විද්‍යාව වර්ධනය වූ අතර ඒ සඳහා ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, කායික විද්‍යාව, භූ ගර්භ විද්‍යාව වැනි විෂයන් මානව විද්‍යාවේ පෝෂණයට මහත් රුකුලක් විය. ඒ බව බව හේතු කොටගෙන මයිකල් බ්‍රයන් ෂිෆර් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
"මෙම පෘතුවියේ මුළු මිනිස් අත්දැකීම ගැන සාක්ෂි ලබා ගැනීමට හැකි එකම  විධිය වන්නේ මානව විද්‍යාවයි.” 
- මයිකල් බ්‍රයන් ෂිෆර් - 
ස්වභාවික විද්‍යාවන්ගේ දියුණුව හේතුකොට ගෙන මානව විද්‍යාව වර්ධනය වූ අතර ඒ සඳහා ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, කායික විද්‍යාව, භූ ගර්භ විද්‍යාව වැනි විෂයන් මානව විද්‍යාවේ පෝෂණයට මහත් රුකුලක් විය. පෘතුවිය හා ජීවින් ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිපලයක් බවය යන අදහස ඉදිරිපත් වීමත් සමගම ඒ සියල්ල දේව නිර්මාණය යන මිත්‍යා අදහස බිඳ වැටුණි. ඒ සඳහා දායක වූයේ මානව විද්‍යාවේම උප විෂයක් වූ භෞතික මානව විද්‍යාවයි.
නිදසුන් : 
විවිධ ප්‍රදේශවලින් ලැබුණු පාෂාණ ධාතු බවට පත් වූ අතීත යුගවල පැවති ශාක හා සත්ව කොටස් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමින් ඒවා විශ්ලේෂණය කරමින් මිනිසා ස්වාභවික සත්වයෙකි යන අදහස ඉදිරිපත් කිරීම මානව විද්‍යාව තුළින් සිදු විය.
1948 දී  John Gillin  යන විද්‍යාඥයා  “The Ways of Man”    හි මානව විද්‍යාව යනු කුමක්දැයි නිර්වචනයකින් පෙන්වා දී  ඇත.
 "මානව විද්‍යාව, කෙටියෙන් කීවොත් මානව වර්ගයා පිළිබඳ සියලුම තොරතුරු මිනිසා ලොව වාසභූමි ඇති කරගත් ආකාරය පරීක්ෂා කර බලන විෂයකි.“
John Gillin - “The Ways of Man” (1948)
 "මානව විද්‍යාව මිනිසා පිළිබඳ විද්‍යාවයි. එක් අංශයකින් එය ස්වභාවික ඉතිහාසයේ එක් ශාඛාවක් වැන්න. මිනිසාගේ ස්වභාවය මෙන්ම, අනෙක් පාර්ශවයන් අතර මිනිසා කිනම් තත්ත්වයක් උසුලන්නේ ද යන්න විමසා බැලේ.”
A.E.Crober - “Anthoropology”
සමාජයේ වෙසෙන මිනිසාගේ කාර්යයන් හා චර්යා රටාවන් ද, ඔවුන්ගේ නිෂ්පාදනයන් ද, මිනිස් කණ්ඩායම්වල සංයුතිය හා ස්වභාවය වැනි ඒවාද මෙමඟින් අධ්‍යනය වේ. එනම් මේ පිළිබඳව 1935 දී T.K.Penniman යන විද්‍යාඥයා   “A Hundred Years of Anthropology” හි මානව විද්‍යාව යනු කුමක්ද යන්න නිර්වචනයක් සපයා දෙමින් විග්‍රහ කර ඇත.
"මානව විද්‍යාව මිනිසා පිළිබඳ විද්‍යාව වේ. එය විද්‍යාවක් අතර ප්‍රධාන වේ. පළමුකොට ඉන් සොයා බැලෙන්නේ මිනිසාගේ ජීව විද්‍යාත්මක ස්වභාවයයි. දෙවනුව සත්ව වර්ගයා අතර, පුරාතනයේ මිනිසා කවර තැනක් ඉසුලුවේද යන්නයි.”
T.K.Penniman - “A Hundred Years of Anthropology” (1935)
මෙහිදී මිනිස් ජීවියාගේ සමස්ත ජීවිතයම විද්‍යාත්මකව අධ්‍යනය කිරීම මානව විද්‍යාව ලෙස හඳුන්වා ඇත. මිනිසාගේ කායික වර්ධනය සිදු වූ අවස්ථාවේ සිට මිනිසා සම්පූර්ණ මිනිසකු බවට පත්වන අවස්ථාව දක්වාම අද්‍යනය කිරීම මානව විද්‍යාවෙන්  විවරණය කරනු ලබයි. මිනිසා කලල රූපික තත්ත්වයේ සිට සාමාජීය සත්වයකු ලෙස මුහුකුරා වැඩි සමාජයට අනුයෝජනය වීමේ ක්‍රියාවලිය එනම් සමාජානුයෝජනය වන තෙක්ම මානව විද්‍යාවේ තියුණු විමර්ශනයට බඳුන් වන බව මෙම නිර්වචනයෙන් පැහැදිලි වේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම වර්තමානයේ ජීවත්වන මිනිසාගේ ජීව විද්‍යාත්මක, පරිසරාත්මක, සමාජ විද්‍යාත්මක දත්ත ගවේෂණයන්ට මානව විද්‍යාඥයා හුරු වී සිටින බවද මෙම නිර්වචනයෙන් පැහැදිලි වේ. එසේම මෙයින් තව දුරටත් විග්‍රහ වනුයේ මානව විද්‍යාව අධ්‍යනයේදී මානව විවිධත්වයන් පදනම් කර ගෙන මිනිසා වනර යුගයේ සිටම දියුණු යුගය දක්වා වර්ධනය වූ ආකාරය එසේ පරිණාමය වීමේදී මානවයා පාරිසරික වෙනස්කම් වලට මුහුණ දුන්නේ කෙසේද? යන්න විමසා බලයි. පොදුවේ ගත් කළ මානව විද්‍යාව මගින් මිනිසා ගැන හදාරන්නේ මිනිස් ශරීරවල දැකිය හැකි ලක්ෂණ, විවිධතා, ශරීර සැකැස්ම, ජීව විද්‍යාත්මක මෙන්ම ශරීරාභ්‍යන්තරයේ හා ප්‍රවේණිය වැනි ලක්ෂණද විමසා බැලේ. පුරා වස්තු, ආදියේ මිනිස් අවශේෂ, මිනිසාට සම්බන්ධ ශාඛා සත්වමය අවශේෂ හා මිනිස් වාසය පස් ස්තරවල නියැඳි මෙන්ම කාල නිර්ණයන් සිදු කිරීමද මෙහිදී සිදු කරයි.  මේ සඳහා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කර ඇති පහත නිර්වචනයද මානව විද්‍යාව යන්න හඳුනා ගැනීමට උපකාරී වේ.
"සමාජීය, සංස්කෘතික, ජෛව විවධත්වය, ඓතිහාසික, පාරිසරික වෙනස්කම්වල ගතික ක්‍රියාවලිය පිළිබඳව මානව විද්‍යාවෙන් අවබෝධ වේ.” 
-ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය (මානව විද්‍යා දෙපාර්තමේන්තු වෙබ් අඩවිය)  

ලෝකප්‍රකට පෝට්ලන්ඩ් ප්‍රජා විද්‍යාලය විසින්ද මානව විද්‍යාව පිළිබඳව නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්,
"මානව විද්‍යාව මිනිසුන්ගේ අධ්‍යනයයි. මෙම විෂය තුළ දී, ජනතාවගේ වර්තමාන මෙන්ම ප්‍රාග් ඓතිහාසික අතීතයේ මෙන්ම මිනිසුන්ගේ පැවැත්ම, ඒවායේ ජෛව සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳව සලකා බලනු ලැබේ. මෑත හා වර්තමාන මානව අනුගතවීම් අගය කිරීම සඳහා සිසුන් හා ඔවුන්ගේ පරිසරයන් අතර අන්තර් සබඳතාවයන් හඳුන්වාදීම හඳුන්වා දෙනු ලැබේ.” 
- පෝට්ලන්ඩ් ප්‍රජා විද්‍යාලය -
මෙම නිර්වචනය අනුව මානව විද්‍යාව තුළ මිනිසාගේ සංස්කෘතික විවිධත්වය පිළිබඳවද අධ්‍යනය කරයි. මෙහි සංස්කෘතික විවිධත්වය යනුවෙන් හඳුන්වා ඇත්තේ මානව සමාජයේ පවතින යම් යම් සංස්කෘතීන්හි ඇති වෙනස්කම් හා ඒ ඒ සංස්කෘතීන්ට පොදු වූ අනන්‍යතාවන්ය. එනම් මෙහිදී මෙම සංස්කෘතීන් තුළ සිටින ජනතාවගේ සාමාජික ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යනය කරයි. සමාජ මානව විද්‍යාඥයා තමා අධ්‍යනය කරන සමාජය පුළුල් ලෙස සමස්ත ලෙස මෙහිදී අධ්‍යනය කරයි. මේ සඳහා සමාජ මානව විද්‍යාඥයෝ මානව විද්‍යාත්මක නිරීක්ෂණ භාවිත කරයි. මෙම මානව විද්‍යාත්මක නිරීක්ෂණවලදී පුරා විද්‍යාත්මකව අදාල සමාජවල පෙර ඉතිහාසය හා ඓතිහාසික මුලාශ්‍ර ප්‍රධාන ලෙස නිරීක්ෂණය කරනු ලබයි.
නිදසුන් : 
ජේම්ස් ප්‍රේසර් - රෝමන් සංස්කෘතිය හා හීබ්‍රෑ වරුන්ගේ සමාජය 
රොබට් ස්මිත් - ආදී අරාබියානු හා හයුබට් හා ෂෙල්ට්ස් වරුන්ගේ සමාජය 
එසේම මානව විද්‍යා ක්‍රමවේදයන් භාවිතයෙන්ද සමාජ මානව විද්‍යාඥයෝ විවිධ සමාජ සංස්කෘතීන්හි ජිවත්වන මානවයා  පිළිබඳව අධ්‍යනය සිදු කොට ඇත. එහිදී විශේෂයෙන් මානව විද්‍යාඥයෝ තොරතුරු එකතු කර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය ලෙස සහභාගිත්ව නිරීක්ෂණය යොදා ගනියි. එහිදී සිදුවන්නේ පර්යේෂකයා අදාල ක්ෂේත්‍ර සමාජයේ  ප්‍රජාව අතරට ගොස් ඔවුන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි.
නිදසුන් : 
රේමන්ඩ් පර්ත් - ටිකෝපියා සමාජය 
මැලිනවොස්කි - ත්‍රෝබියානු සමාජය 
එවන්ස් ජිවාඩ් - නුවර් සමාජය
එසේම මුල් කාලීන මානව විද්‍යාඥයෝ ජනගහනය සිමා වූ සරල තාක්ෂණයක් පැවති, ලිඛිත ඉතිහාසයක් නොමැති ප්‍රාථමික සමාජ අධ්‍යනයට පෙළඹුණු අතර නූතනයේ බොහෝ මානව විද්‍යාඥයෝ ප්‍රාථමික නොවන සමාජ පිළිබඳවද අධ්‍යනය අවධානය යොමු කළහ. 
නිදසුන් : 
ඇමරිකානු මානවවිද්‍යා ක්ෂේත්‍රය තුළ ජපානය, චීනය, අයර්ලන්තය, මෙක්සිකෝව,                                         වැනි නූතන සමාජ පිළිබඳ අධ්‍යනය කිරීම.
රුත් බෙනඩික් - ජපානය 
කොනාර්ඩ් අරෙන්ස්බර්ග් - අයර්ලන්තය 
රොබට් රෙඩ්පීල්ඩ් - මෙක්සිකෝව (ගැමි සමාජය)
මෙම නිර්වචනයන්ගෙන් විග්‍රහ වන්නේ සමාජ මානව විද්‍යාව තුළ මිනිසාගේ පැවැත්මට අදාල වූ විවිධ සංස්කෘතීන් හා සමාජයන්ගේ විවිධත්වයද අධ්‍යනය වන බවයි. ඒ බව 
ජේ.එච්.එම්. බීට් නම් සමාජ මානව විද්‍යාඥයා වරක් ප්‍රකාශ කර ඇති කියමනකින් මානව විද්‍යාව පැහැදිලි වේ. එනම්, 
"මානව විද්‍යාඥයන් සොයා බලන්නේ අනුන්ගේ සංස්කෘතිය ගැනය. ඔවුන් තමන්ගේ රට පිළිබඳව අධ්‍යනය නොකරයි” බවයි. ඔහු සමාජ මානව විද්‍යාව පිළිබඳව ලියූ කෘතියටද නම් තබන ලද්දේ "වෙනත් සංස්කෘතීන්” ලෙසයි.
ලෝකප්‍රකට බටහිර වොෂිංටන් විශ්ව විද්‍යාලය මානව විද්‍යාව නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්, 
"මානව විද්‍යාව යනු කුමක්ද යන්න යන්නෙන් අදහස් කෙරෙන්නේ, මානව විද්‍යාව යනු අතීතයේ හා වර්තමානයේ සියලු සංස්කෘතීන්වල මානව සංස්කෘතියේ විද්‍යාත්මක අධ්‍යනයයි.”
 - බටහිර වොෂිංටන් විශ්ව විද්‍යාලය  - 
මෙම නිර්වචනයෙන්ද පැහැදිලි වන්නේ මානවයාගේ අතීතයේ හා වර්තමානයෙ සියලු සංස්කෘතීන් මානව විද්‍යාවෙන් අධ්‍යනය කරන බවයි.
මානව විද්‍යාව අර්ථ ගන්වන තවත් නිර්වචනයක් ලෙස 1967 දී Jesse D. Jennings  විසින්  "Reading in Antropology” හි දක්වන ලද පහත නිර්වචනය සැලකිය හැකිය. එනම්,
"මානව විද්‍යාව මනුෂ්‍යත්වය පිළිබඳ අධ්‍යනයකි. එහි අරමුණ වන්නේ භාෂාවේ වැදගත්කම හා සංස්කෘතිය විසින් මිනිසා හා විශ්වය සමග ඇති සම්බන්ධතාව කෙසේ නිර්වචනය කර ඇත්ද යන්න සොයා බැලීමයි.”
Jesse D. Jennings -  “Reading in Antropology” (1967)
එහි ප්‍රධාන ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ මානව විද්‍යාව භාෂාවේ ඇති වැදගත්කම හා මානව විද්‍යාව හා භාෂාව අතර ඇති සම්බන්ධතාව පිළිබිඹු කරන විද්‍යාවක් ලෙස සඳහන් කර තිබීමයි. මානව විද්‍යාඥයා අනිවානිවාර්යයෙන්ම ප්‍රකෘති භාෂාව පිළිබඳ දැනුමක් ඇති අයකු විය යුතුය. භාෂාව තුළින්  රටකට ආවේණික සංස්කෘතික ලක්ෂණද, චින්තන ක්‍රමද, තේරුම් ගැනීමට හැක. භාෂාව හා මානව විද්‍යාව අතර අදියර තුනක් යටතේ වූ සම්බන්ධතාවක් දැකිය හැකිය. එනම්,
1. තාක්ෂණික අදියර 
2. ප්‍රයෝගික අදියර
3. ව්‍යාඛ්‍යාන අදියර
තම ටිකෝපියා ගෝත්‍රික සමාජය පිළිබඳ අධ්‍යනයේදී රේමන්ඩ් ෆර්ත් නම් මානව විද්‍යාඥයා භාෂාව හා මානව විද්‍යාව අතර  කිට්ටු සම්බන්ධතාක් දක්වා ඇත. ඔහු දක්වා ඇත්තේ භාෂාව යම් රටක සංස්කෘතියෙහි එක්තරා හරස් කඩක් ලෙස දැක්විය හැකි බවයි. ෆර්ත් මෙම සම්බන්ධය තුන් ආකාරව දක්වා ඇත. එනම්,
1. එක් භාෂාවක් සහ එක් සංස්කෘතියක් අතර ඇති සම්බන්ධය 
2. භාෂාව හා සංස්කෘතිය අතර ඇති පුළුල් සම්බන්ධතාවය  
3. විද්‍යාත්මක විනය ක්‍රමයක් වාග් විද්‍යාව හා මානව විද්‍යාව සමඟ පවත්වන සම්බන්ධතව  
මෙම සම්බන්ධතා තුනෙන් කවරකට හෝ යටත් වීමට මානව විද්‍යාඥයාට සිදු වන බව ෆර්ත් දක්වා ඇත.
සමාජ මානව විද්‍යාව තවත් ආකාරයකට නිර්වචනය කරන්නේ නම්, 
"සියලු මිනිස් ප්‍රජාවන්ට අදාළ වන හැසිරීම් පිළිබඳ ප්‍රතිපත්ති අනාවරණය කිරීමට මානව විද්‍යාව උත්සාහ කරයි. මානව විද්‍යාඥයෙකුට, ශරීරයේ හැඩයන් හා ප්‍රමාණ, චාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, කථාව, ආගම සහ ලෝක දර්ශනය තුල දැකිය හැකිය. ඕනෑම ප්‍රජාවක් තුළ ජීවිතයේ ඕනෑම අංගයක් අවබෝධ කර ගැනීම සඳහා රාමුවක් සපයයි.”
- ඇමරිකානු මානව විද්‍යා සංගමය - 
දැක්විය හැකිය. ඇමරිකානු මානව විද්‍යා සංගමය විසින් මානව විද්‍යාව නිර්වචනය කර ඇත්තේ මිනිස් ප්‍රජාවට අදාළ වන හැසිරීම් අධ්‍යනය කරන විෂයක් ලෙසයි. මෙහි මිනිස් ප්‍රජාවට අදාළ හැසිරීම් අධ්‍යනය සඳහා මිනිසාගේ ජිවිතයේ සෑම අංගයක්ම අවබෝධ කර ගැනීමට සිදු වන බව මින් පැහැදිලි වේ. විවිධ සමාජ තුළ විවිධ සංස්කෘතීන් තුළ ජිවත්වන මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර , ආගම් සහා අභිචාර විධි, ඇඳුම් පැළඳුම්, භාෂා විලාසයන් යන මෙම සියලුම අංග මානවයාගේ හැසිරීම් මත බලපායි. කාලීනව සංස්කෘතියේ වූ යම් යම් වෙනස්වීම් සමඟ මානවයාද වෙනස් වීමට මෙම හැසිරීම් බලපා ඇතැයි කිව හැක.

මිනිසාගේ හැසිරීම් කෙරෙහි බලපාන සුවිශේෂී අංගයක් ලෙස ආගම දැක්විය හැකිය. මිනිස් ඉතිහාසයේ ආගමික යුගය කොතරම් පැරණිද කිවහොත් එය භාෂාවේ ආරම්භයටද වඩා ඈතට දිව යයි. 
නිදසුන් : 
පරිණාමවාදයේ පියා ලෙස චාල්ස් ඩාවින් එච්.එම්.එස්. බිගල් නම් නෞකාවෙන් පස් වසරක් තුළ කල ලෝක සංචාරයේදී ලොව ඉපැරණිම ගෝත්‍රික ජනතාවක් වන පියරාඩෙල් පියුගෝ ගෝත්‍රිකයන් අතරට පැමිණ කළ අධ්‍යනය ආගම සම්බන්ධයෙන් වැදගත් අධ්‍යනයකි. එයින් වාර්තා වුයේ ඔවුන් අතර කිසිදු ආගමික විශ්වාසයක් නොතිබුන බවයි.
එම්.ගුසින්ඩ් නම් මානව විද්‍යාඥයා ආදිතම පියුගෝ ගෝත්‍රිකයින්ගේ ආගම පිළිබඳ අධ්‍යනය කර ඇත. එයින් අනාවරණය වූයේ පියුගෝ ගෝත්‍රිකයන් තුන් වර්ගයක් නම් තුනකින් ශුද්ධ නායකයෙකු අදහන බවයි.
ඩබ්. සච්මින්ඩ් නම් මානව විද්‍යාඥයා පිග්මී නම් ගෝත්‍රිකයන් අතර පැවති එක්තරා ආකාරයක දේව වාදයක් පිළිබඳ අධ්‍යනය සිදු කර ඇත.
ප්‍රේසර් නමැති මානව විද්‍යාඥයා ආගම හා අභිචාර සම්භන්ධව මානව විද්‍යාත්මක අධ්‍යනයක් සිදු කර ඇත. එහිදී දිව්‍යමය රජවරුන්ගේ බිලි පූජාව පිළිබඳව මානව විද්‍යාත්මක පර්යේෂණයක් කර ඇත.
එසේම මෙම නිර්වචනයට අනුව සමාජ මානව සමාජයක ජිවත්වන මිනිසාගේ ශරීරයේ හැඩයන් ප්‍රමාණ, වර්ණ භේදය, වයස් ප්‍රමාණය, බාහිර පෙනුම ආදී ජීව විද්‍යාත්මක සාධක සැලකිල්ලට ගනිමින් අධ්‍යයන කටයුතු සිදු කරයි. 
නිදසුන් :
බටහිර රටවල සමේ වර්ණය අනුව කළු සුදු භේදයක් ඇත. මේ නිසා සමාජය තුළ පදිංචි ප්‍රදේශ පවා වෙන්කර ගනියි.
ඕස්ටේ්‍රලියාවේ මුල් පදිංචිකාර ගෝත්‍රික වැසියන්ගේ සමාජ වල වැඩි බලයක් හා ගරුත්වයක් හිමි වූයේ වයෝවෘද්ධ  පුද්ගලයින්ටය.
කඩවසම් හා රූ ස්වභාවයෙන් යුතු වීම, මනා ශරීර සෞඛ්‍යය හා පුද්ගල ශක්තිය මත සමාජය තුළ මිනිසුන්ගේ පෞරුෂත්වය අධ්‍යනය කිරීම සමාජ මානව විද්‍යාව තුළින් සිදුවේ.
සමාජ මානව විද්‍යාව උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලය නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්, 
"මානව විද්යාව යනු ලොව වටා මානව විවිධත්වය අධ්‍යනය කිරීමයි. මානව විද්‍යාඥයන් සමාජීය සංස්ථා, සංස්කෘතික විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, නීති රීති සහ සන්නිවේදන ස්වරූප අතර අන්තර් සංස්කෘතික වෙනස්කම් දෙස බලයි. ඔවුන් නිතරම එක් එක් සංස්කෘතියට පරිවර්තනය කිරීම මගින් කණ්ඩායම් අතර අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරයි.”
- උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලය -
මෙමගින් විග්‍රහ වී ඇත්තේද මානවයාගේ විවිධත්වය අධ්‍යනය කිරීම සමාජ මානව විද්‍යාවෙන් සිදු වන බවයි. මෙහි තව දුරටත් දක්වා ඇත්තේ මානව සමාජීය සංස්ථා තුළ පවතින සංස්කෘතික සංසන්දනාත්මකව අධ්‍යනය කරන බවයි. මෙහිදී වැදගත් වන ප්‍රධාන කරුණක් ලෙස කිව හැක්කේ සමාජ සංස්ථා තුළ දැකිය හැකි ඥාතීත්වයල අවාහ විවාහ, චාරිත්‍ර වාරිත්‍ර, නීති රෙගුලාසි, විවිධ සන්නිවේදන ස්වරූපයන් පිළිබඳව අධ්‍යනය සමාජ මානව විද්‍යාවෙන් මූලිකවම සිදු වන බවයි.
ඥාතීත්වය පිළිබඳව සැලකීමේදී මානව විද්‍යාව තුළ අධ්‍යයනය වන ප්‍රධාන දෙයක් ලෙස ඥාතීත්වය දැක්විය හැකිය. මිනිසා විසින්ම මිනිසා අතර  ඇති කර ගත් සම්බන්ධතා මෙයට අයත් වේ. ඒ අනුව පෙනී යන්නේ මානව විද්‍යාව තුළ ඥාතීත්වය අධ්‍යයනය කළද ප්‍රමුඛ ලෙසම අධ්‍යයනය වන්නේ මිනිසා පිළිබඳව වීමයි.
නිදසුන් : 
ඇමරිකානු ජාතික ලුවිස් හෙන්රි මෝගන් ඥාතීත්වය පිළිබඳ  අධ්‍යනයෙහි පුරෝගාමී වූ මානව විද්‍යාඥයා වේ. ඔහු අධ්‍යයනය කළ ප්‍රධාන තේමාව වුයේ ප්‍රාථමික සමාජ වල දක්නට ලැබුණු ඥාතී පද මාලාවයි. එහිදී ඉරාකුවා ගෝත්‍රයේ භාවිත කරන ඥාතී පද ඥාතීන් කිහිපදෙනෙකුටම පොදුවේ භාවිත කරන බව ඔහු දැක්විය.
ඒ.ඊ. ක්‍රෝබර් නම් මානව විද්‍යාඥයා පරම්පරාවක වයස් මට්ටම්වල වෙනස්කම්, ඥාතීන්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය, කිට්ටු ඥාතීන්ගේ ජිවන ස්වභාවය, විවාහ ඥාතීන්ගේ හා ලේ ඥාතීත්වයේ වෙනස්කම්, කිට්ටු ඥාතීන්ගේ ජිවන ස්වභාවය ආදීය අධ්‍යයනය කර ඇත.
ක්‍රිස් හිස්ට් නම් මානව විද්‍යාඥයා මානව විද්‍යාව සම්බන්ධයෙන් මෙසේ අර්ථ කථනයක් දී ඇත. එනම්,
"මානව විද්‍යාවෙන් අධ්‍යයනය වනුයේ මානව වර්ගයාය. එනම්, ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ විශ්වාසයන් හා ජීවත් වන මාර්ගයන්ය.” 
-ක්‍රිස් හිස්ට්- 
විවාහ කටයුතු වලදී සිරිතක් ලෙස සමාන්තර ඥාතී හා හරස් ඥාතී ක්‍රමය අනුගමනය කරයි. සමාන්තර ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහනම්ය. හරස් ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සුදුසුය. සමාන්තර ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහනම් වූ අතර එය ව්‍යභිචාරී තහංචිය ලෙස හැදින්විය.
නිදසුන් :
මැලිනවොස්කි දක්වන ආකාරයට ත්‍රෝබියන්ස් දුපත් වාසීන්ට ව්‍යභිචාරයට දඬුවම මරණයයි. තම මවගේ සොයුරියකගේ දියණිය සේවනය කළ “කිමායි” නම් තරුණයා තම ඥාතීන් ඉදිරියේ අඩි 60ක් උස පොල් ගසකින් පන සිය දිවි නසා ගත බව මැලිනවොස්කි වාර්තා කර ඇත.

එසේම අවමංගල්‍ය කටයුතු වලදීද විවිධ සිරිත් විරිත් පවත්වාගෙන යෑම.
නිදසුන් :
පුද්ගලයාගේ මරණයෙන් පසුව පවා ඥාතීන් විසින් ඥාතීත්වය අත් නොහැරීම, අවමඟුල් චාරිත්‍ර මළවුන් පිදීම, ගුණානුස්මරණ ආදිය සිදු කිරීම.
මෙවැනි ඒවා විවිධ සංස්කෘතීන්ට අනුව වෙනස් වුවද සමාජ මානව විද්‍යාව මඟින් එම විවිධත්වය, වෙනස්කම්, සම්භන්ධතා ආදිය සුවිශේෂී අධ්‍යනයකට ලක් කරයි.
මීට අමතරව බොහෝ විද්‍යාඥයෝ විසින් සමාජ මානව විද්‍යාව යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් විවිධ නිර්වචන සපයා දී ඇති අතර ඉන් තවත් නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
"මානව විද්‍යාව ස්වභාවික විද්‍යාවකි. එසේම මානව විද්‍යාව තුලනාත්මක සමාජ විද්‍යාවකි.”
- රැඩ්ක්ලීෆ් බ්‍රවුන් -
"මානව විද්‍යාව මානව ශාස්ත්‍රයකි. එය ඉතිහාසය හා ඉතා සමීප විෂයකි.”
- එවන්ස් ප්‍රිවාඩ් -
"මානව විද්‍යාව වඩාත් විද්‍යාත්මක හා විද්‍යානුකුල විද්‍යාවයි.” 
- ඇල් ක්‍රෙබර් - 
"මානව විද්‍යාව යනු අතීතයේ හා වර්තමාන මානව සංස්කෘතිය හා ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යනයයි.” 
- බටහිර කෙන්ටකි විශ්ව විද්‍යාලය -
"මානව විද්‍යාව යන මාතෘකාව විෂය කරුණු අතර වඩා සංවේදීය. එය ඉතිහාසය, කොටසක් සාහිත්‍යය ස්වභාවික විද්‍යාව කොටසක් වන සමාජ විද්‍යාව එය ඇතුළේ සිට සහ ඉන් එහා පරික්ෂා කිරීමට උත්සාහ කරයි.” 
- එරික් වුල්ෆ් මානව විද්‍යාව, 1964 -
"මානව විද්‍යාව යනු මානව වර්ගයා පිළිබඳ අධ්‍යයනයි. මිනිසාගේ පැවැත්ම හා ජයග්‍රහණ පිළිබඳව පරික්ෂා කරන සියලු ශිල්පවලින් මානව විද්‍යාව සමන්විත වේ. සම්ප්‍රදායේ සමකාලීන සංස්කෘතික හා සමාජ ජිවිතයේ මානව අත්දැකීම්වල සමස්තය මෙහි ඇතුලත් වේ.” 
- ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලය - 
 "මානව විද්‍යාව සෑම ප්‍රදේශයකම හා සෑම කාලයකදීම මිනිසුන් පිළිබඳව අධ්‍යයනය කරයි.” 
- ට්‍රයිටන් විද්‍යාලය - 

මෙම සියලුම දීර්ඝ නිර්වචනයන්ගෙන් පහැදිලි වන්නේ මානව විද්‍යාව යනු මිනිසා පිළිබඳව විද්‍යාවක් බවයි. ඒ අනුව පොදුවේ මෙම සියලුම නිර්වචන ආශ්‍රයෙන්ල 
 "මානව විද්‍යාව යනුල මිනිසාගේ උපතේ සිට සියලුම කාරණයන් විද්‍යාත්මකව අධ්‍යනය කිරීමයි. එනම් මිනිසා අතීතයේ විසූ ආකාරය, වෙසෙන ආකාරය, ඔවුන්නේ සුවිශේෂි ලක්ෂණ හා ඔවුන් ඓතිහාසිකව පරිණාමය වී ලෝකයේ ඒ ඒ ශිෂ්ඨාචාරයන් ගොඩනගා ගත් අයුරු දක්වාම මානව විද්‍යාවෙන් අධ්‍යනය කරයි.
යන ලෙස මානව විද්‍යාවට පොදු නිර්වචනයක් සැපයිය හැක.

සඳු පූර්ණිමා..
(මූලාශ්‍රයන් සහ ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

Monday, October 3, 2022

පුවත්පත් කාටූන් කලාව

වර්ථමානය තුළ කර්තෘ වාක්‍ය තරමටම වැදගත් අංගයක් බවට පත් වී තිබෙන කාටූන් අකුරු කියවිය හැකි කියවිය නොහැකි සෑම දෙනාගේම දැනුම පුලුල් කරන මාධ්‍යයක් බවට පත්ව ඇත. කාටූන් ,චිත්‍ර  කලාවෙන් පෝෂණය වී බිහි වූවක් වුවද අද එය ජීවත් වන්නේ පුවත්පත් කලාවේය.ශිෂ්ටාචාර වල ආරම්භයේ පටන්ම චිත්‍ර  සන්නිවේදනය පැවතියද මුල්ම කාටූන් ලක්‍ෂණ දක්නට ලැබුණු ස්ථානය ලෙස  ඇතැමෙකු සලකන්නේ පොම්පෙයි නුවර ඇද තිබූ සියුම් හාස්‍යයක් ජනිත කරවන සිතුවම් පෙළකි . එසේම යුරෝපයේ සමහර පල්ලි ආශ්‍රිතව ගාර්ගොයිල්ස් යනුවෙන් හැදින් වූ විකට ස්වරූපයක් ගන්නා මූර්ති පෙළක්ද 13 වැනි සියවසේදී දක්නට ලැබුණු අතර ඊ.එස්.මාස්ටර් නම් ජර්මන් ජාතික චිත්‍ර  ශිල්පියෙකු 1466 වර්ෂයේදී හෝඩියේ අක්‍ෂරවලට හාස්‍යයජනක මුහුණුවරක් ලබා දී තිබුණි.මේ අයුරින් නව චිත්‍ර  කලාවකට මාවතක් වැටී තිබුණද එය ඉදිරියට ගෙන එනු ලැබුවේ ස්පාඤ්ඤ ජාතික අනිබාල් සහ අගෝස්තිනෝ යන සහෝදරයන් දෙදනා විසිනි.ඔවුහු 16 වන සියවසේදී නූතන කැලිකා්චර චිත්‍ර  නිර්මාණය ආරම්භ කළහ.



කාටූන් චිත්‍ර කලාව ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ බටහිර ජාතීන් මගිනි. වර්ෂ 1940 දී බි්‍රතාන්‍යය ජාතිකයින් විසින් චීනයට කාටූන් කලාව හදුන්වා දුන් අතර ජපානය 1867 වසරේදී  එය හදුනා ගන්නා ලදී. ඊට පෙර ද ජපානයේ පැරණි කාටූන් කලාවක් පැවත ඇත. 19 වැනි සියවසේදි ඇලෙක් සැන්ඩර් ඔර්ලෝවස්කිමගින් රුසියාවේ කාටූන් කලාව ඇරඹී අතර බෙන්ජමින් ෆ්‍රෑන්ක් ලීන් ඇමරිකාවට එය හදුන්වා දුන්නේය.ඇමරිකානු පුවත් පතක පළ වූ ප්‍රථම  කාටූනය වන්නේ වදසබ දර ාසැ නැමති 1754 මැයි 9 වන දින පෙනිසිල්විනියන් නම් ගැසට් පත්‍රයට  අදිනු ලැබූ කාටූනයයි. එම කාටූනයෙහි කැබලි අටකට වෙන්වූ සර්පයෙකු දැක ගත හැකි වන අතර එමගින් ඇමරිකාවේ ප්‍රාන්ත 8 ක් පිළිබදව තොරතුරු හමුවේ.එනම් නිව්යෝර්ක් ,නිව් ඉන්ග්ලන්ඞ්, නිව්යොර්ක්, නිව්ජර්සි, පිලඩෙල්ෆියා, මිනසෝටා, වර්ජිනියා, නෝර්ත් කැලරිනා සහ සවුත් කැලරිනා යන ප්‍රාන්ත  සංකේතවත් කරමිනි.බි්‍රතාන්‍යය යටත් විජිතයන් වලට කාටූන් හදුන්වා දෙනු ලැබුවේ මිෂනාරින් විසිනි.කැරිකේචර් චිත්‍ර අතීතයේ සිට බි්‍රතාන්‍යයේ තිබුනද කාටූනය බි්‍රතාන්‍යයට හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ තෝමස්  බ්‍රවුන්  නම් ශිල්පියාටය. බි්‍රතාන්‍යයේදීද කාටූන් කලාවට සුවිශේෂි ස්ථානයක් හිමිවුණි. එය විරෝධය පෑමේත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ   ජනප්‍රිය අංගයක් විය. ඉතිහාසයේ කෘරතම පාලකයෙක් වශයෙන් සැලකෙන රුසියාවේ ජෝෂප් ස්ටාර්ලින් සිය විරුද්ධවාදීන් දහස් ගණනින් ඝාතනය කළ අයෙකි. ඇමරිකාවේ හර්බට් ලොරන්ස් බ්ලොක් නැමති කාටූන් ශිල්පියා වොෂින්ටන් පෝස්ට් පුවත් පතට අදිනු ලැබූ ස්ටාර්ලින් මාරයා රැගෙන  යාමේ කාටූනය 50 දශකයේ කැපී පෙනුන කාටූනයකි. 

ලේ තැවරුනු දෑකැත්තක් අතින් ගෙන පිටුපස හරවාගෙන ඇවිදින ස්ටාර්ලින්ට සමීපව විශාල ආයුධයක් අතින් ගත් මාරයාද ඇවිද යන බව එම කාටූනයයි. වර්ෂ 1838 දී ප්‍රංශයේ චරිවරි පුවත්පත දේශපාලන කාටූන් භාවිතා කළ අතර එයින් ආභාෂයක් ලැබු ලන්ඩනයේ රිචට් ඩෝලි පන්ච් පුවත් පතට කාටූන් ඇන්දේය. ප්‍රධාන  දේශපාලන කාටුන් කලාව පුවත් පතට එකතු වූ මුල් අවස්ථාව වන්නේ 1884 දී ඇමරිකාවේ පැවති ජනාධිපතිවරනය අරභයා වෝල්ට් මැක් ඩෝගල් විසින් නිව්යෝර්ක් වර්ල්ඞ් පුවත් පතට සැපයූ බෙල්පාසර්හි රාජකීය මංගල්‍යය නම් තේමාව යටතේ ඇදි කාටූන් පෙළ ලෙස සැළකේ.



දේශපාලන කාටූන් චිත්‍ර නිර්මාණකරණයේ ආරම්භක අවධියේ සිටි ශිල්පියෙකු වශයෙන් ඇමරිකාවේ තෝමස් නැට්ස් ප්‍රමුකස්ථානයේ  විය. ශ්‍රී ලංකාවේ කාටූන් කලාව පිළිබදව දැක්වීමේදී සෑම රටකම පාහේ ලංකාවේද කාටූන් ආරම්භ වී ඇත්තේ චිත්‍ර කලාව පදනම් කරගෙනය. ලංකාවේ පැරණි මූර්ති කලාවේ රූප කාටූන් කලාවට සමීපත්වයක් දක්වයි.ඉසුරුමුණියේ ගලින් නෙළු පිළිම තුළ හාස්‍යය උපහාසය තිබෙන බවට සාදක ඇත. අපේ පැරණි වෙස් මුහුණු කලාවෙත් අතිශයෝක්තියට නැගුණු මූලික ලක්‍ෂණ පිළිබිඹු වෙයි.

කාටූන් චිත්‍ර වලට සමානකම් පාන චිත්‍ර විශේෂයක් කැලෑ චිත්‍ර ලෙස පැමිණ ඇත.මෙහිදී සිදුවන්නේ තවකෙකුගේ නොහොබිනාකම් උපහාසයට ලක් කිරිමයි. කෙසේ වෙතත් වර්ථමාන කාටූන් චිත්‍ර කැළෑ චිත්‍ර හා විකෘති චිත්‍ර හේතු විය. ලංකාවේ පුවත්පතක් මුද්‍රණය වන්නේ ලංකාවේ පුවත් පතක් මුද්‍රණය වී සියවස් දෙකක් පමණ ගත වූ පසුවය.

ලංකාවට කාටූන් කලාව ලැබුනේ බටහිරිනි. නිදහස ලැබීමට පෙර මෙරට පුවත් පත් තුළ දේශිය කාටූන් චිත්‍ර දක්නට ලැබුනේ නැත. එහෙත් විදෙස් පුවත් පත් වල පළ වූ කාටූන් මෙරට පුවත් පත් වලද දක්නට ඇත. ශ්‍රී ලංකාවේ පළවූ මුල්ම කාටූනය ලෙස  සිංහල විශ්ව කෝෂයේ සළකන්නේ දිණමිණ පුවත්පතේ පළ වූ ”මුදලාලි” කාටූනයයි. බොහෝ පුවත් පත් සගරා සන්නිදර්ශන චිත්‍ර  නිර්මාණයේදී සුදු කළු වර්ණය භාවිතා කළ ඇත. ඔෆ්සෙට් මුද්‍රණ ක්‍රමය ව්‍යාප්ත වීමෙන් පසුව මේවා වර්ණයෙන්ද මුද්‍රණය වී ඇත. මේ අයුරින් විකාශනය වී ශ්‍රී ලංකාව තුළද කාටූන් නලාව ජනප්‍රිය  පත්ව ඇත.

කාටූන් වර්ග කිහිපයක් යටතේ කාටූන් ශිල්පියෝ තම නිර්මාණය කරනු ලබයි. එනම්,

  • දේශපාලන කාටූන්
  • පොකට් කාටූන්
  • කාටූන් චිත්‍ර කතා

වශයෙනි. කාටූන් පිළිබදව දැක්වීමේදී විශේෂ ලක්‍ෂණ රාශියක්ද පවතී. එහිදී

කාලීන ගැටළු නිරූපනය කරයි.

උපහාසාත්මක බව.

කාලත්‍රයේම කියවිය හැකිය.

නෛතික රාමු නැත .

විශාල පරාසයක් රූප සටහනකින් ඉදිරිපත් කරයි.

සමාජය පුළුල්ව විශ්ලේෂණය කරයි.


යනාදී ලක්‍ෂණ දැක ගත හැකිය. දේශපාලන කාටූන් ශිල්පීන් කාටූනයක් නිර්මාණය කිරීමේදී එක් එක් කාටූන් ශිල්පියා භාවිතා කරන විවිධ ක්‍රමවේද  පවතී.දේශපාලන කාටූනයක් කොටස් හයක් යටතේ සාකච්ඡා කෙරේග

සංකේත

නම් සටහන් කිරීම

ශීර්ෂපාඨ

අතිශයෝතිය

පොදු ක්‍රමවේදය

දෙබස්

වශයෙනි. පවතින ගැටළුකාරී තත්වයන් මේ යටතේ කාටූන් ශිල්පීන් විසින් කාටූන් නිර්මාණය කරනු ලබයි.






ලංකාවේ ජනමාධ්‍ය බිහි වීමෙන් අනතුරුව මුලු සමාජ සංස්ථාවම වෙනස් මගකට යොමු වීම දක්නට ලැබුණි. මෙරට පළමුව බිහි වු ජනමාධ්‍ය බවට පත් වී තිබෙන්නේ පුවත්පයි. පුවත්පත් මාධ්‍ය ආරම්භ වීමෙන් අනතුරව අනෙකුත් ජනමාධ්‍යයන් බිහි වීම දක්වට ලැබුණි. පුවත්පත් කලාව ආරම්භ වු මුල් කාලයේ දී එය වඩාත් දියුණු මට්ටමකට නොපැවති අතර ක්‍රම ක්‍රමයෙන් එය වඩාත් දියුණු වීම දක්නට ලැබිනි. ඒ අයුරින් පුවත්පතේ දියුණුවත් සමඟ එයට එක් වු සුවිශේෂි අංගයක් ලෙස කාටුන් නිර්මාණ තීරය දැකබලා ගැනීමට පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටීම දක්නට ලැබිණි. කාටුන් මගින් සමාජයට යම් පණිවිඩයක් සන්නිවේදනය වනවා සේම හාස්‍ය  මුසු උපහාසයක් ඒ තුළ ගැබ් වී තිබීමද ඊට හේතුවයි.

“පුවත්පතක සම්පුර්ණ තීරුවකට වඩා වේගයෙන් හා මැනවින් අදහසක් චිත්‍රයක් ආකාරයෙන් මනසෙහි මවාපාන හෙයින් පුවත්පත් කාටුන් චිත්‍රය ප්‍රධාන කර්තෘ වාක්‍ය්යටද වඩා වැදගත් තැනක් ගනී. ශ්‍රී ලංකාවේ පළමු මුල්ම කාටුනය ලෙස සිංහල විශ්ව කෝෂයේ දක්වන්නේ දිණමින පුවත්පතේ පළමු ‘මුදලාලි’ නැමැති කාටුනයයි. 1931 ස්වදේශ මිත්‍රයා පුවත්පතම ජී. එස්. ප්‍රනාන්දු විසින් ඩොනමෝර් කොමිසමේ යෝජනා විවේචනය කරමින් කාටුන් අදින ලදී. ශ්‍රී ලංකාවේ දේශපාලන කාටුන් විධිමත්ව අරඹන ලද්දේ 1940 දී ය. කාටුන් චිත්‍රයකින් යම් විවේචනයක් හෝ අදහසක් හෝ ඉදිරිපත් කළ හැකිය. දේශපාලන කාටුන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ ඉංශ්‍රීසීන් විසිනි. ලංකාවට නිදහස ලැබීමත් සමඟ ඔබ්රි කොලම් ජී. එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවිය. මෙරට පළමු පළමු දේශපාලන කාටුනය වුයේ ස්වදේශ මිත්‍රයා පුවත්පතේ පළමු කාටුනයකි. එය ජී.එස් ප්‍රනාන්දු කාටුන් ශිල්පියා අතින් නිර්මාණය වු කාටුනයකි.


ශ්‍රී ලංකාවම නිදහස ලැබීමෙන් පසු ඔබ්රි කොලම්, ජී එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවුහ. කාටුනය ඔස්සේ නිදහස්ව අදහස් ඉදිරිපත් කළ කාටුන් ශිල්පීන්ට විවිධ තර්ජනයන්ට මුහුණ දීමට සිදුවිය. මෙය දැඩි ලෙස උපහාසයට ලක් කිරිමට කොලම් කාටුනයක් නිර්මාණය කරන ලදී. එහි දක්නට ලැබුනේ කටත් දැතත් බැද දැමු කාටුන් ශිල්පියෙකු කකුලෙන් චිත්‍ර අදින ආකාරය නිරුපනය කළ කාටුනයකි. කොලම් ඔස්ටේ්‍රලියාවේ හොඳම කාටුන් ශිල්පියා ලෙස  සම්මාන දිනා ගැනීම ද සිදුකරන ලදී. ලංකාවේ කාටුන් ශිල්පීන් මෙම කාටුන් මාධ්‍ය හරහා සමාජ විරෝධී ක්‍රියාවන්ට බරපතල ලෙස පහර දෙන්නට යොදා ගන්නා ලදී. සර් .ජෝන් කොතලාවල අගමැතිවරයාව සිටි සමයේ සත්ත්ව ගොවිපොළක් නරඹන අවස්ථාවේ කළ ප්‍රකාශයක් ඇසුරු කොටගෙන එවකට සිටි දක්ෂ කාටුන් ශිල්පියෙකු වු ජී. එස් . ප්‍රනාන්දු විසින් කාටුනයක් නිර්මාණය කොට තිබේ. අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ටත්  එම ගොවිපොලෙහි ගොනෙකු වීමට තිබුණා නම් යනුවෙන් කළ ප්‍රකාශයකි.එම කාටුනය තුළ අගමැතිවරයා ගොනෙකු ලෙස ඇඳගෙන එළදෙනක් පිරිවරාගෙන සිටින දක්නට ලැබුණි. අගමැතිවරයෙකු වු ටී.බී. ඉලංගරත්න මහතා තමන් හාස්‍යට ලක් කර අඳින ලද කාටුන් පිළිබඳව ජී. එස්. ප්‍රනාන්දු කාටුන් ශීල්පියා හට කවියක් ලියා යවන ලදී.

“මං ගහන ගැයුමෙන්

ඔබට සැපතක් වේ නම්

තව තව තවත් ගහමින් 

සැපත ලංකර ගන්න යහමින්”

යනුවෙනි. ඉලංගරත්න මහතා ඇමති අසුන දිනාගත් පසු ඊට සුභ පතමින් තමන් වෙත එවා තිබු කවියට පිළිතුරු කවියක් ජී.එස්. ප්‍රනාන්දු විසින් යවන ලදී.

“ඔබ දිනුම ලද තැන

පවතී මිනිස් යහගුණ

ආදරය පිළිගෙන

බැනුම් අසමින් සිනාසෙනු මැන”

ලාංකීය කාටුන් කලාවේ ඉතිහාසය පිළිබදව විමසීමේ දී එයට මුලිකත්වය දක්වන ලැබු කාටුන් ශිල්පීන් පිළිබදවද සඳහන් කළ යුතුයි. මහජන මතයට ගරු කරමින් පාලක පක්ෂය විවේචනය කිරීම ජී. එස්.  ගේ කාටුන්හි අරමුණ විය. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු කාටුන් චරිතයක් පාඨක ප්‍රසාදය ඉහළින් ලබා ගැනීමට සමත් විය . ජී. එස්. ගේ  කාටුන් තුළින් වඩාත් පහර කෑමට ලක් වුයේ සර් ජෝන් කොතලාවල, කොල්වින් ආර් ද සිල්වා, ටී. බී. ඉලංගරත්න... ආදී දේශපාලඥයින්ය.

1950 පමණ වනවිට වීජේසෝමයන්ද මෙරට පුවත්පත් කලාවට එක් වු දක්ෂ කාටුන් ශිල්පියෙකු විය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘පුංචි සිංඤ්ංඤ් ‘ නම් චරිතය ජිවමානය . මෙම චරිතය තවමත් ජිවමානය මෙම චරිතය හරහා ඔහු පොදු ජනතාව නියෝජනය කළේය. මුලදී සම්පුර්ණ ජාතික ඇඳුමින් සැරසී සිටි පුංචි සිංඤ්ංඤ් සමාජ ක්‍රමයේ වෙනස් විම හා දේශපාලන ක්‍රමයේ පැවති පීඩිත බව නිසා උපන් ආර්ථිකයෙන් බැට කෑ පුද්ගලයකු බවට පත්විය. පසුකාලීනව ඔහු ඉරුණු ඇදුමෙන් සැරසුණු ශරීරයෙන් වැහැරී ගිය පුද්ගලයෙකු බවට පත් විය. දේශපාලන කාටුන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටුන් නිර්මාණය කිරීමයි. එසේ නොකාරීම රටට කරන අපරාධයකි. යනුවෙන් කාටුන් ශිල්ප විජේසෝමයන් ප්‍රකාශ කරයි. 

මිනිසුන් සිනහා ගැන්වීම ඉතා අපහසු කටයුත්තකි. කාටුන් ශිල්පින් විසින් සිදු කරන ලබන්නේ එවැනි අපහසු බැරූරුම් කාර්යකි. කැම්ලස් පෙරේරා තමාගේ නිර්මාණ තුළින් පෙන්නුම් කොට ඇත්තේ එම හැකියාවයි. ලංකාවේ කාටුන් ශිල්පීන් අතර මධ්‍යස්ථ කාටුන් ශිල්පියෙකු ලෙස උපහාසයට ලක්කල යුතු තැන සැබෑ ලෙස උපහාසයට ලක් කොට ඇත. ප්‍රසංශා කළයුතු තැන ප්‍රසංශා කොට ඇත. කැම්ලස් පෙරේරා නම්  කාටුන් ශිල්පියා විසින් ජිවය දෙන විශාල කාටුන් චරිත නිර්මාණය කර තිබේ.  කාටුන් ශිල්පියා එක් එක් යුගයන්හි දේශපාලන වෙනස්වීම් පිළිබඳව තම කාටුන් මාධ්‍ය ඔස්සේ නිරූපණය කර ඇත.

“දේශපාලන කාටුන් චිත්‍ර ශිල්පින් කළ යුත්තේ දේශපාලනඥයින් සතුටු කිරීම නොවේ. දේශපාලඥයින්ගේ තිබු අඩු ලුහුඩුකම් පෙන්වමින් ජනතාවට සේවය කිරීමයි. කාටුන් ශිල්පියා මහජනයාගේ පැත්තේන් බැලිය යුතුය.”යනුවෙන් ඇස්. සී. ඕපාත කාටුන් ශිල්පියා පවසයි.

සමාජයේ පංති භේදයකින් වයස් භේදයකින් තොරව රසවිදිය හැකි මාධ්‍යයක් ලෙස කාටුන් මාධ්‍ය පෙන්වාදිය හැකිය. වචන වලින් ප්‍රකාශ කළ නොහැකි බොහෝ දේ කාටුන් මගින් ප්‍රකාශකළ හැකි වේ. කාටුන් මගින් ඉදිරිපත් කරන්නේ හුදු හාස්්‍ය ලබාදිම නොව කාටුනයක් සමාජීය  ආර්ථික සංස්කෘතික සාධක ඔස්සේ සමාජයේ පෙනෙන නොපෙනෙන විවිධ වු දිශානතීන් කෙරෙහි පුද්ගල පරිකල්පන ශක්තිය මෙහෙයවන ලබයි . කාටුනය සමාජයේ කැඩපතක් සේ සමාජයේ විවිධාකාර වු සමාජ අවස්ථා නිරූපනයට යොදාගනී. ශ්‍රී ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයේ කුරිරු බව කාටුන් මාධ්‍ය ඔස්සේ මනාව සන්නිවේදනය කළ ආකාරය දැකගත හැකි විය.

පුවත්පතක කාටුන් චිත්‍ර කිහිප ආකාරයකින් දැකිය හැකි වුවද මෙරට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දේශපාලන කාටුනයි. වර්තමානය වනවිට මෙරට කාටුන් මාධ්‍ය දේශපාලනය හා සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවක් දක්නට ලැබේ. වෙනත් විශේෂාංගයන් තුළින් නොකියවෙන අදහස් වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කර ගැනීමේ හැකියාව කාටුන් මාධ්‍යට පවතී. දේශපාලන ක්‍රියාවලින් සහ සමකාලීන සමාජයෙන් අත් විඳින්නට සිදු වු ක්‍රියාකාරකම් සහ දේශපාලන නායකයින්ගේ සුවිශේෂතා හදුනාගත් කාටුන් ශිල්පීන් ඔවුන් හාස්‍යට ලක් කරන ලදීග

1962 දී මායාදුන්නේ නම් කාටුන් ශිල්පියා ඇඳි අප්පුහාමි නම් දෙබස් නොමැති නිහඬ දිගු කාටුනයන්,1964 දී බන්දුල හරි- ස්චන්ද්‍රයන් ඇඳි නිහඬ දිගු කාටුනයත් සාමාන්‍ය පොදු ජනතාවගේ සමාජ පසුබිම සහ ගති පැවතුම් පෙන්වා දෙන කාටුන් විය. 1964 දී ගිබ්සන් නම් කාටුන් ශිල්පියෙකු දිනමිණ පුවත්පතට තනි තීරුවේ පොකට් කාටුන් ඇඳ තිබේ.1960 මුල් කාලයේදී “මොකො ්”නමින් දෙබස් කාටුනයක් පලවිය.

දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් හෝ රටේ කවුරුන් හෝ කරන වරදක් අසාධාරණයක් හෝ අයුක්තියක් ජනතාවට හෙලිදරව් කරනුයේ කාටුන් චරිත මගිනි. ලාංකිය කාටුන් ඉතිහාසයේ කාටුන් චරිත බවට පත් වු “අප්පුහාමි ” “රාළහාමි ” වැනි චරිත පුවත්පත් වල නිරූපනය වුයේ මීට දශක කිහිපයකට පෙර වුවද අදටද එහි අන්තර්ගත වු සමාජ යතාර්ථයන් රැකී ඇත. වර්තමානයේ දී ද “පුංචි සිංඤ්ඤෝ අප්පුහාමි ” සමාජයේ ජිවත් වන්නේ එදා කාටුන් ශිල්පීන් තම කාටුන් චරිත හරහා පෙන්වා දුන් සමාජ ප්‍රශ්න වර්තමානයට ද අදාල වන බව සනාථ කරමිනි.

1950 පමණ වනවිට කාටුන් චිත්‍ර කලාව ප්‍රබල ලෙස ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව තුළට එකතු විය. වර්තමානය වනවිට ඇතැම් කාටුන් ශිල්පීන් තමන්ගේ පුද්ගලික දේශපාලන මතයට පුවත්පත් ආයතනයේ මතය නායෝජනය කරන බව දැකගත හැකි වේ. දක්ෂ කාටුන් ශිල්පියා සමාජ විවේචනයක් සමඟ ගැඹුරු අදහසක් පාඨකයා වෙත සමීප කරනු ලබයි.




සඳු පූර්ණිමා...

(ඡායා රූප හා තොරතුරු මූලාශ්‍රය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

Saturday, October 1, 2022

COVID - 19 හමුවේ මාධ්‍ය භූමිකාව

 


කොරෝනා වෛරස්  රෝගය යනු 2019 දෙසැම්බරයේ සිට හුබෙයි පළාතේ වුහාන් හි පැතිරෙන වෛරස් නියුමෝනියා රෝග පොකුරකි.  මෙන්ලන්ඩ් සෞඛ්‍ය බලධාරියාගේ පරීක්ෂණයට අනුව, නව කොරෝනා වෛරසය එහි රෝග කාරකය  බව සොයාගෙන ඇත.

COVID - 19  හි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ උණ, විඩාව, වියලි කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයයි.  නාසය සිරවීම, හිසරදය, කොජන්ටිවිටිස (ඇස් රතු වීම), උගුරේ අමාරුව, පාචනය, රසය හෝ සුවඳ නොදැනීම, සමේ දද  හෝ ඇඟිලි හෝ පාගිලි දුර්වර්ණ වීම වැනි රෝග ලක්ෂණ වේ.  සමහර අයට රෝගය ආසාදනය වී ඇති නමුත්  ඇත්තේ ඉතා මෘදු හෝ විශේෂිත නොවන රෝග ලක්ෂණ පමණි.   ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, රෝගීන්ගෙන් 20 පමණ හුස්ම ගැනීමේ අපහසුතාවය සමඟ බරපතල රෝගාබාධ ඇතිවිය හැකිය.  වැඩිහිටි වයස්වල  හෝ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට (උදාහරණ: අධි රුධිර පීඩනය හෘද  හා පෙනහලු ආබාධ, දියවැඩියාව හෝ පිළිකා) රෝගය බරපතළ වීමට වැඩි අවදානමක් ඇත.

වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ ශ්වසන ජල බිඳිති හරහා වන අතර එය ස්පර්ශය හරහාද සම්ප්‍රේෂණය කළ හැකිය.  බොහෝ ඇස්තමේන්තුවලට අනුව පූර්ව රෝග ලක්ෂණ මතු වීමට ගතවන කාලය දින 1 සිට 14 දක්වා වන අතර සාමාන්‍යයෙන් දින 5ක්  පමණ වේ.  මේ වනවිට බිහිසුණු වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් වසංගතයට මුල් වූ නව කොරෝනා වෛරසයෙහි ආරම්භය සිදු වූයේ කෙසේද? මෙය මේ වනවිට විශාල වශයෙන් වාද විවාදවලට මාතෘකා වී ඇති කාරණයකි.  චීනයේ වූහාන් නුවරින් මුලින්ම පැතිරෙන්නට පටන් ගත් මෙම වෛරසය වවුලන්ගෙන් මිනිසුන් අතරට ආ වෛරසයක් බව වෛරසවේදීන් බහුතරයකගේ අදහසයි.  ඇතැම් විට එය සෘජුවම වවුලන්ගෙන් මිනිසුන්ට බෝ නොවී වෙනත් අතරමැදි සත්ත්ව විශේෂයක් හරහා මිනිසුන් අතරට පැමිණියා වන්නට පිළිවන් බවත් ඇතැම් විශේෂඥයෝ පවසති. මේ අතර තවත් ඇතැමුන් පවසන්නේ මෙය චීනයේ වූහාන්හි වෛරස පිළිබඳ පරීක්‍ෂණාගාරයකින් පිටතට කාන්දු වූ වෛරසයක් විය හැකි බවයි. මුල් ආසාදිතයින් හමු වූයේ වූහාන් හි මාළු වෙළෙඳසලකින් බව ප්‍රකාශ වුවද රෝහල්ගත කරන ලද පළමු ආසාදිතයින්ගෙන් ඇතැමුන්ට මාළු වෙළෙඳසල සමග කිසිදු සම්බන්ධයක් තිබී නැති බවක් ඇතැම් අධ්‍යයන වාර්තාවල පලවී තිබිණි. කොරෝනා වෛරසය සතුන්ගෙන් බෝ වූ වෛරසයක් නොවිය හැකි බවට අදහස් ඉදිරිපත් වන්නේ මෙම පසුබිම තුළයි.

COVID - 19  වසංගතය ජනමාධ්‍ය කලාවේ නැවත ඉපදීමකට මඟ පාදා තිබේ. මිනිසුන්ට, සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය යුතුය. සත්‍යයේ හොඳම පුනරූපණය අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මේ යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ සෞඛ්‍ය ගැටලු, කලබල සහ කැළඹීම් සමාජ ගතකරමින් මහජන උද්වේගය ඇති කරන ඩිජිටල් වෛරසයක් බවට ජනමාධ්‍ය පත්වීම පමණකි.  මෙම වසංගතයත් සමග සමාජයේ ඇතිවන ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ජන මාධ්‍ය ආයතනවලින් ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලා සිට ඇත්තේ ජනමාධ්‍යන්ගේ හැසිරීම වඩාත් යහපත්දායක අයුරින් පැවතිය යුතු බවයි.  ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරිය සිය අත්සනින් යුක්තව මාධ්‍ය ආයතන ඇමතු ලිපිය පිලිබදව පැවසුවේ කරුණු සහිත විමර්ශනයකින් අනතුරුව එවැනි ඉල්ලා  සිටීමක් සිදුකිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත තීරණය කල බව සහ සහේතුක බවයි.  ඇය පවසන පරිදි මෙම ලිපිය මාධ්‍ය ආයතනය අමතා නිකුත් කල විගස මහජනයාගෙන් පැසසුම් සහගත ප්‍රතිචාර ලැබුණි.  ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරිය ශානිකා ශ්‍රියානන්ද ඇමතු එක පුරවැසියෙක් තමන්ගේ පුද්ගලික අත්දැකීම ලෙස සදහන් කර තිබුනේ රෝගීන් පමණක් නොව රෝගය වලදී ඇතිදැයි නිර්ණය කර ගැනීම පිණිස පරීක්ෂාවට භාජනය වන තැනැත්තන් පවා රුපවාහිනී නොමනා ග්‍රහණයට හසුවූ බවයි.  මෙය කිසිසේත්  සිදු නොවිය යුතු දෙයකි.  මෙම හේතුව නිසා 2020 මාර්තු 23 වෙනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘතීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘතීය  සමිති සම්මේලනය, දමිල මධ්‍ය එකතුව ද ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සියලු මාධ්‍ය ආයතන හිමිකරුවන් ප්‍රධානීන් වෙත

, COVID - 19  ගෝලීය වසංගතයට  එරෙහිව ජන මාධ්‍ය වගකීම පිළිබද විද්‍යුත්  හා මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් හා ප්‍රධානින් වෙත “ යන මැයෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ ද කොරෝනා  පුවත් වාර්තා කරණයේදී භාවිතා කළ යුතු මුලික නිර්දේශ ඇතම් මාධ්‍ය ආයතන විසින් නොසලකා හරිමින් කටයුතු කිරීම එහි ආරම්භක සමයේ සිට ම කල එළි බසින්නට වීමත් සමගය.  එහිදී මෙම ව්‍යසනකාරී අවස්ථාවේ දැඩි ලෙස සැලකිලිමත් විය යුතු සහ ක්‍රියාත්මක කලයුතු කරුණු කිහිපයක් මාධ්‍ය ආයතන හිමිකරුවන් හා ප්‍රධානින් ගේ අවධානයට යොමු කිරීම එම සංවිධානවල අපේක්ෂාව විය.  මාධ්‍ය ආයතනවල  වෙබ් අඩවි සහ සෙසු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත විසිරණය වන පුවත් කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වගවීම කෙරෙහි සැලකිලිමත් වීමද සිදුවීම් වාර්තාකරණයේදී ය සමාජ වගකීමෙන් බැහැර නොවීම කෙරෙහි මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැදගත්කම ද මෙම ලිපියෙන් අවධාරණය කර තිබිණි. කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ තැනැත්තන් පිළිබද වාර්තා කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු නොකිරීම නිසා සෞඛ්‍ය අංශවලින් සිදුකරන පරීක්ෂණවලට ඉදිරිපත් වීමේදී මහජනතාව පසුබෑමට පත්විය හැකියි යන අදහස නිසා  කොරෝනා වෛරස් ව්‍යාප්තිය  සම්බන්ධ පුවත් වාර්තාකරණයෙදී ජනතාව තුළ වෛරය ඇතිවන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය සේවා අංශ මාධ්‍ය ආයතනයන්ට දැනුම් දී ඇත.  එහෙත් කොරෝනා පුවත් වාර්තාකරණදී  සැලකිලිමත් විය යුතු මූලික නිර්දේශයන් ඇතැම් මාධ්‍ය ආයතන විසින් නොසලකා හැරීම හේතුවෙන් රෝගය ආසාදිත රෝගීන් සමාජයෙන් කොන් වීමට ඇති බියෙන්වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට උත්සාහ කරති.  මෙය එම රෝගීන්ගේ මෙන්ම සමාජ වෙසෙන්නන්ගේද ජීවිතයවලට තර්ජනයකි. COVID - 19  වසංගත තත්ත්වයේදී එයට මුහුණදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට අනුව මාධ්‍ය ආයතන මගින් COVID - 19  සම්බන්ධ වාර්තාකරණයේදී පහත සඳහන් නිර්දේශ භාවිතා කරන මෙන් සියලුම මාධ්‍ය ආයතනයන් වෙත දැනුම් දී ඇත.

  • සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත්කළ COVID - 19  සම්බන්ධ වාර්තාකරණයේදී ජනමාධ්‍ය විසින් භාවිතා කළ යුතු නිර්ණායකයන්. 

  • සැමවිටම කොවිඩ් 19 සම්බන්දව වාර්තා කිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මූලාශ්‍රය පමණක් භාවිතා කිරීම. 

  • නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්/රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය හා ආගම් සඳහන් නොකිරීම. 

  • වෛරසය ආසාදිත පුද්ගලයන් රෝගීන් මිස අනික් අයට රෝගය පතුරවන පුද්ගලයන් ලෙස හැඳින්වීමෙන් වැළකීම. 

  • අවදානමේ ප්‍රමාණය තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කිරීම. 

  • විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වැළකීම.  නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් හා රෝගීන් ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වැළකීම. 

  • මියගිය අයගේ අවසන් කටයුතු පිළිබද සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කර පෙන්වීම. 

  • ජනතාව තුල වෛරය ඇතිවන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වැළකීම. 

  • මෙම කොවිඩ් 19 තත්ත්වය ජන මනසට ආතතිය හා ඉච්ඡා භංගත්වය ඇතිවන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙක අතර සහයෝගය ඇතිවන ලෙස පුවත් සහ දැනුවත් කිරීම් ලබාදීම.

අසත්‍ය තොරතුරු සමාජගත වීම හේතුවෙන් සෞඛ්‍ය ගැටළු කලබල සහ කැළබිම්  ඇතිවීමට තිබෙන ඉඩකඩ මෙන්ම මතු විය හැකියි.  මහජන උද්වේගය පිළිබඳ වැදගත් අවධානයට ගෙන  මෙම වසංගත සමයේ ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය පවා අදහස් පළකර ඇත. රාවය  විකල්ප පුවත් පතෙහි කතුවරයාව සිටි ජනමාධ්‍යයේ ප්‍රවීණයකු හා ජ්‍යෙෂ්ඨකුද වන වික්ටර් අයිවන් වරක් ප්‍රකාශ කළේ,  ශ්‍රී ලංකාවේ වඩාත් ජරාජීර්ණ තත්ත්වයකට පත්ව ඇති ක්ෂේත්‍රය ජනමාධ්‍ය බවයි “ ජනමාධ්‍ය නිදහසට මුවාවී ස්වකීය සමාජ වගකීමෙන්  බැහැර වීමට නොහැකි බව සියලු මාධ්‍ය ආයතන වටහා ගත යුතු බව ඔහුගේ අවධාරණය යි.  යම් රෝගයකින් පෙළෙන තැනැත්තෙකුට ස්වකීය පෞද්ගලික හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය මෙන්ම මාධ්‍ය ඒ සම්බන්ධ වාර්තාකරණයේ දී සදාචාරාත්මකව කටයුතු කළ යුතුය යන්න දීර්ඝ කාලයක් තිස්සේ එච්.අයි.වී ඒඩ්ස් වැනි රෝග සම්බන්ධ වාර්තාකරණයන්ට අදාලව පවා මෙරට මාධ්‍ය දත යුත්තක් බව ජනමාධ්‍ය සමාජය දැනුවත් කර තිබේ.  කොරෝනා පුවත් වාර්තාකරණයේ දී භාවිතා කළ යුතු මුලිකම නිර්දේශ පවා නොසලකා හරිමින් කටයුතු කිරීමේ මහන්තත්ත්වයක් ආරෝපණය කර ගන්නට ශ්‍රී ලංකාවේ බොහෝ ජනමාධ්‍ය එඩිතර වී ඇත්තේ තමතමන්ගේ මාධ්‍ය අරමුණු විවිධ දේශපාලන න්‍යායන් සමග ඇති වී ඇති ගිවිසුම් නිසා වන්නට පුළුවන් හැකි බව කිව හැකිය.  කොරෝනා වෛරසය ආසාදිතයන් සමග සමීපව රාජකාරියේ නිරත වන්නට සිදුවීම නිසා එහි ගොදුරු බවට පත් වූ නාවික හමුදා සෙබළුන් හා බැඳුණු පුවත් ත්‍රාසජනක කතා හැටියට පෙන්වීමේ ජන මාධ්‍ය ක්‍රියාන්විතවල ප්‍රතිපලය වූයේ වරෙක මේ මාධ්‍ය මගින්ම රණවිරුවන් ලෙස උත්කර්ෂයට නැංවූ පිරිසක් එක රැයකින් වගකීම් විරහිත රෝගීන් පිරිසකගේ තත්ත්වයට පත්කරනු ලැබීමයි.  තවත් අවස්ථා රැසකදී රෝගයට ගොදුරු වූ බව නිශ්චිතව තහවුරු නොවූ පිරිස් පවා ආගිය ඇසුරු කළ තැන් අනවසරෙන් හා අවශ්‍යතාවයෙන් තොරව අනාවරණය කළ මාධ්‍ය “ මාව වීඩියෝ කරන්නට එපා“ යැයි  කරන ඉල්ලීම් පවා නොසලකා හරිමින් වාර්තා කල අවස්ථා විවිධ මාධ්‍යන් ඔස්සේ දැක බල ගැනීමට හැකියාව තිබුණි. මේ බොහෝමයක් සිදුවීම්වලට අදාළව මාධ්‍ය කැඳවා ගත්තේ රාජ්‍ය නිලධාරීන්ම  බැව් සඳහන් මතයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ජන ගතවෙමින් තිබුණි.  එය එසේ වුවත් අගති විරහිත මාධ්‍යකරණයෙන් බැහැර සාධාරණ හැසිරීමක්  සතු වගකීම භාරගත යුත්තේද  ජනමාධ්‍යම වේ.  මෙම වසංගතය හමුවේ  ජනමාධ්‍යයන්ගේ නොමනා හැසිරීම පිළිඹිඹු කරන තවත් අවස්ථාවක් වූයේ ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය වාර්තාවිඉමත් සමගය.  එනම් එම රෝගියා  යාපනයේ මංගල උත්සවයකට සහභාගී වූ තැන් ඇතුළු සියල්ල මාධ්‍යන් ඔස්සේ පෙන්වන අතර රෝගය බෝකරන්නේ ක් ලෙස ඔහුට වක්‍රව චෝදනා කිරීමට මාධ්‍ය ක්‍රියා කළේය.  එනම්  සෞඛ්‍ය අංශය නිශ්චිත අදහසක් ප්‍රකාශ කර නොතිබියදීය.  එසේම පෞද්ගලිකත්වය  ආක්‍රමණය කරමින් රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් පවා අපහසුතාවයට පත් කිරීම තුලින් ඇතිවූ බියකරු ප්‍රතිඵලය වූයේ ඔවුන් සමාජය තුළ ප්‍රතික්ෂේපයට ලක්වීමයි.  මෙලෙස රෝගීන්   මාධ්‍ය ගොදුරක් බවට පත්වීම නිසා ජනතාව සෞඛ්‍ය පරීක්ෂණවලට සහය නොදී වසන්ව සිටීමට උත්සාහ ගැනීම සමාජයටම තර්ජනයක් යයි කිවයුතුය.  ඇතැම් අවස්ථාවල මාධ්‍යන් කොරෝනා රෝගීන් පිළිබඳව වාර්තා කිරීමේ දී අහේතුකවම  ඔවුන්ගේ ජාතිකත්වය සඳහන් කිරීම මගින් ජාතීන් අතර අනවබෝධය වර්ධනය වීමේ අවදානමක් ද පැවතුණි.  ඇතැම් ජාතිකක්  හිතාමතා වාහකයෙකු බවට පත් වූ ආකාරය මාධ්‍ය වාර්තා වලින් ජනගත කිරීමට ද නොමනා මාධ්‍යවේදීන් උත්සාහ දැරුවේය.  මෙය මාධ්‍ය සදාචාරය සේම සමාජ සදාචාරයට පටහැනි බව කිව හැකිය.  එසේම ඇතැම් මාධ්‍යවේදීන් සහ වෙනත් පිරිස් රජයේ සංඛ්‍යා අංශවල නිල වශයෙන් තහවුරු නොකළ ආරංචි පවා පළ කිරීමට ක්‍රියා කිරීම නිසා ජනතාව අතිශයෝක්තිය  විශ්වාස කිරීමට පෙළඹේ.  මෙවැනි පසුබිමක ජනතාව සත්‍යයෙන් බැහැර වීමට ඇති ඉඩකඩ ඉහළ යන බව පෙනී යයි.  කොරෝනා වසංගත පුවත් වාර්තා කිරීමේදී රෝගය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් ගේ මෙන්ම නිරෝධායනය වන ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල්වල රූපරාමු බලහත්කාරයෙන් රූගත කළ කැමරා කණ්ඩායම් පිළිබදවද පසුගිය සමයේ සමාජයේ දැඩි විරෝධයක් පැවැතිණි.  ජනමාධ්‍ය හා අධ්‍යාපන සඳහා වූ මධ්‍යස්ථානය මාධ්‍ය ආයතනවලින් හා ජනමාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා වසංගතය වාර්තා කිරීම සඳහා ලබා දී ඇති උපදෙස් වලට ගරු කරන ලෙසයි.  මෙලෙස ව්‍යාකූලත්වයක් ඇති කිරමින්, විවිධ වාර්ගික ජන කණ්ඩායම්වලට අපකීර්තියක් ඇති කරමින් හා රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයද අවදානමට ලක් කරමින් බලධාරීන් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය නොකර සමහර මාධ්‍යවේදීන් කටයුතු කරන අතර වසංගතයක් තුළ වාර්තා කිරීම අපහසු කාර්යයක් වුවත් බොහෝ හොඳ මාධ්‍යවේදීහු මහජනතාවට පැහැදිලි සංක්ෂිප්ත හා යාවත්කාලීන තොරතුරු ලබාදීමට අවදානම නොසලකා කටයුතු කරන බවද කිව හැකිය.

මිනිසුන්ට, ප්‍රේක්ෂකයන්ට, ශ්‍රාවකයින්ට, සමාජයට හා ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය  යුතුය.  මෙකී යලි ඉපදීම  සුබදායක වන්නේ මූලික ජන මාධ්‍ය ආචාර ධර්මවලට නැතහොත් මාධ්‍ය ප්‍රතිපත්තිවලට ගරු කරන තත්ත්වයක් තුල ජනමාධ්‍ය හැසිරීම සිදුවන්නේනම් පමණි.  කිසියම් ජන මාධ්‍යක් සමාජය හමුවේ ක්‍රියාත්මක විය යුතු ආකාරය මාධ්‍ය ප්‍රතිපත්ති මගින් අවධාරණය වන අතර ජනමාධ්‍ය හා සමාජ බලපෑම, සමාජ අවශ්‍යතාව මෙන්ම සමාජයක් දිශාගත විය යුතු ආකාරය මාධ්‍ය ප්‍රතිපත්ති මගින් සාකච්ඡාවට ගැනේ.  සත්‍ය වාර්තා කිරීම පිළිබඳ ප්‍රතිපත්ති, නිරවද්‍යතාවය, අවංක කම, යුක්තිගරුකභාවය මහජන රසඥතාව, අධ්‍යාපනය හා සුභ සාධනය, පිළිබඳ ප්‍රතිපත්තිය,සදාචාර භාවිතය ආචාරධාර්මික බව, නිදහස හා නීතිමය ව්‍යවහාර පාරිභෝගික රුචිකත්වය ග්‍රාහකයාගේ වරණීය සංජානනය හැසිරවීමට අදාල ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් පවතී.  මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන් බොහෝවිට හිතාමතාම හෝ නොදැනුවත්ව හෝ වෙනත් බලාධිකාරිත්වයන්ගේ බලපෑම මත මාධ්‍ය ප්‍රතිපත්ති මතක හැරීම ගැටලු සහගත වී තිබේ.  ජන මාධ්‍යට නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති බවට චෝදනා එල්ල වන්නේ එම නිසාය.  මාධ්‍ය වැඩසටහන්කරණය හා ඉදිරිපත් කිරීම් ආදියේ දී සිදුවන ප්‍රතිපත්තීන් නොතකා හැරීම ද ගැටලුවකි.  අනවශ්‍ය තරගකාරීත්වය හා වාණිජවාදී භාවිතය නිසා මාධ්‍ය වල මානුෂීය හෝ සංස්කෘතික හා සදාචාරය ප්‍රතිපත්ති ගැන සැලකිලිමත් වීමට සීමා පැනවී ඇත.  කෙසේ වෙතත් යම් රටක ජනමාධ්‍යය ප්‍රතිපත්තිමය වශයෙන් පෝෂණය වීම මගින්, වඩාත් ප්‍රමිතියක් සහිත උසස් මෙන්ම ජනතා හිතවාදී මාධ්‍යයක් පවත්වාගෙන යාමට හැකි වන බව පැහැදිලි වේ.  විශේෂයෙන් ජන මාධ්‍ය ප්‍රතිපත්තිවලට ගරු කරමින් කටයුතු කිරීම වත්මන් ශ්‍රී ලාංකේය මාධ්‍ය භූමිකාවට බෙහෙවින් අදාල වන කරුණකි.  සත්‍යයේ නිශ්චිත පැතිකඩ අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයක් මේ යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.  ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ අදහස්, හැඟීම්, විකෘති කරුණු, පටු මාන හා කටකතා සමඟ මුසුවී වැරදි තොරතුරු සමාජගත කරන, සෞඛ්‍ය ගැටළු, කලබල, කැළඹීම් හා මහජන උද්‍යෝගය ඇති කරන ඩිජිටල් වෛරසයක් වීම පමණි.


සඳු පූර්ණිමා...

(ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

සමාජ මානව විද්‍යාවේ ආරම්භය


යුරෝපා සමාජය තුළ ප්‍රථමවරට එනම්ද හසයවන, දාහත්සවන සියවස්වලදී  සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වර්ධනය වීම දැක ගත හැකි විය. එය විෂයක් ලෙස ආරම්භ වීමට බල පෑ සමාජ සංස්කෘතික හා දේශපාලනික පරිසරය එකල යුරෝපා සමාජයේ ගොඩ නැගෙමින් තිබූ බවට සාධක ඇත. එහෙත් වඩාත් සංවිධානාත්මක ලෙස එම වර්ධනය දැක ගත හැකි වුයේ දහඅටවන සියවසේදී පමණය. එනම් විශේෂයෙන්ම සමාජ මානව විද්‍යාවේ ඉතිහාසය පැහැදිලිවම ආරම්භ වී තිබුනේ දහඅටවන සියවසේදීය. මිනිසා හා සමාජය පිළිබඳව මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් කරුණු හැදෑරීමට මේ කාලයේ සිටි දාර්ශනිකයන් හා ඉතිහාසඥයන් උත්සුක වීය.  එහිදී මිනිසා හා සමාජය පිළිබඳබඳ තොරතුරු ලබා ගන්නා ලද්දේ දේශ සංචාරකයන්ගේ හා මිෂනාරිවරුන්ගේ වාර්තා ආශ්‍රය කරගෙනය.  මෙම තොරතුරු මානව විද්යාත්මක ලේඛන නොවුනත් මිනිසා හා සමාජය පිළිබඳ මානව විද්‍යාත්මක දෘෂ්ටියෙන් කරුණු හැදෑරීමට කදිම පසුතලයක් සපයා දෙන ලදී. 

එහිදී දැක්විය හැකි ප්‍රබල සිදුවීමක් ලෙස කාර්මික විප්ලවය හැඳින්විය හැකියග කාර්මික විප්ලවයේ නව සොයා සොයාගැනීම් හා තාක්ෂණික දියුණුව නිසා මුළු ලොව පුරාම සංචාරය කොට විවිධ සමාජ ක්‍රම දැන කියා ගැනීම්ට යුරෝපීන්ට හැකියාව ලැබුණු අතර මෙමගින් මුළු යුරෝපා සමාජයම ප්‍රබල වෙනසකට ලක්විය. එහිදී යුරෝපිය පාලකයන් තමන් යටතේ තිබූ යටත් විජිතවල සමාජ සංස්කෘතික හා ආර්ථික තත්වය තේරුම් ගැනීමට විවිධ ජන කොටස්, ගෝත්‍රික සමාජ, විධ දේශගුණික තත්ත්වයන් ගැන ගවේෂණය කිරීමට උනන්දු විය. එම නිසා යටත් විජිත පාලන ප්‍රත්පත්ති වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට ඔවුනට හැකි වුනි. මෙම තත්වය සමාජ මානව විද්‍යාවේ ආරම්භය ලෙස දැක්විය හැක. මෙවැනි පසුබිමක් මානව විද්‍යාවට තිබූ හෙයින් බටහිර අධිරාජ්‍යවාදයේ දියණිය ලෙස ඇතැම් විචාරකයන් අර්ථ දක්වා ඇත. 

එසේම යුරෝපිය පුනරුද ව්‍යාපාරය ද සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වර්ධනයට බලපෑ තවත් කරුණකි. එනම් අලුත් ජනාවාස සොයා ගැනීම්, අලුත් මතවාද කරා ජනතාව ඒකරාශී වීම, පල්ලියේ ආධිපත්‍යට අභියෝග එල්ල වීම වැනි සිදුවීම්වලින් ආවරණය වූ පුනරුදය නව චින්තනයකට අවශ්‍ය මග සාදා දුනි. එසේම පරිණාමවාදී අදහස්ද සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වැඩි දියුණු වීමට බලපෑ තවත් කරුණකි. ස්වභාවික විද්‍යාවන්ගේ ඇති වූ දියුණුවද සමාජ මානව විද්‍යාවේ වර්ධනයට තුඩදුන් කරුණකි. විශේෂයෙන්ම ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, කායික විද්‍යාව, භූගර්භ විද්‍යාව වැනි විෂයන් මානව විද්‍යාත්මක සංකල්පවල පෝෂණයට බල පෑ විද්‍යාවන් කිහිපයකි.

සමාජ මානව විද්‍යාව මානවවංශ විද්‍යාව යන නමින් ප්‍රථමවරට 1894 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආරම්භ වූ අතර ආරම්භක මහාචාර්යවරයා වුයේ ඊ.බී. ටයිලර්ය. පසුව 1900 දී පමණ කේම්බි්‍රජ් සරසවියේත්, 1908 දී ලන්ඩන් සරසවියේත් ආරම්භ විය. සමාජ මානව විද්‍යාවේ අභිවර්ධනය ගැන සැලකීමේදී එහිලා ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ බි්‍රතාන්‍ය හා ඇමරිකානු සමාජ විද්‍යාඥයින්ටය. ඊට පසුව ප්‍රංශයේ මොන්ටෙස්කයු, එමිල් ඩුවර්කයිම් වැනි සමාජ විද්‍යාඥයින්ද සමාජ මානව විද්‍යාවට අවශ්‍ය බුද්ධිමය දායකත්වය ලබා දුනි.  මෙලෙස සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වැඩි දියුණු වෙමින් ශීඝ්‍ර ලෙස වර්ධනය විය.

වර්තමානයේ ලොව පුරා යුරෝපා රටවල මෙම විෂය  ර්‍ණසමාජ මානව විද්‍යාව” ලෙස හඳුන්වමින් අධ්‍යයන කිරීම් සිදු කරන අතර ආසියාතික රටවල මෙම විෂය  ර්‍ණමානව විද්‍යාව” ලෙස හඳුන්වමින් අධ්‍යයන කටයුතු සිදු කරයි. එහිදී යුරෝපයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බි්‍රජ්, ලන්ඩන්, ලිවර්පුල් වැනි විශ්ව විද්‍යාල තුළද ආසියාවේ ඉන්දීය කල්කටා විශ්ව විද්‍යාලය, බොම්බාය විශ්ව විද්‍යාලය ආදියෙහි මානව විද්‍යාව ඉගැන්වීම් ආරම්භ කළ අතර ආසියාතික රටක්වන ශ්‍රී ලංකාවේ මානව විද්‍යා විෂයේ ආරම්භක ගමන් මඟ විමසා බැලීමේදී 1960 වර්ෂයේ මුල් භාගයේ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ කලා පීඨයට නව අධ්‍යයනාංශයක් ලෙස මානව විද්‍යා අධ්‍යයනාංශය ආරම්භ කෙරුණි. ඒ අනුව 2021 අද වන විට ශ්‍රී ලංකාවේ මානව විද්‍යාව විධිමත් අධ්‍යයනයක් ලෙස ආරම්භ වී වසර 60ක් පමණ ගත වී ඇත.
මානව විද්‍යාව යනු කුමක්ද ?
දෙවියන් වහන්සේගේ මැවීමෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසාගේ ආරම්භය හා වෙනස්කම් සැලකීම පැරණි යුරෝපීය සමාජයේ දක්නට තිබූ විශ්වාසයකි. සංස්කෘතිය උසස්තම දේව නිර්මාණ වන අතර සෙසු සංස්කෘතීන් හා ජනතාව වනචාරී මිලේච්ඡ නොදියුණු ලෙසත් හුවා දක්වන ලදී. එහෙත් 18 වන සියවස් පමණ වන විට ස්වභාවික විද්‍යාවන්ගෙන් දියුණුවත් නව පර්යේෂණයන්ගේ අනාවරණයක් නිසා මේ තත්ත්වය වෙනස් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පරිසරය විද්‍යාත්මකව තේරුම් ගත යුතු බවත් මිනිසාගේ පහළ වීම සරල අවස්ථාවකින් පටන් ගෙන ක්‍රමානුකූලව විකාශනය වන බවත් ලෝකයාට පැහැදිලි විය. ඒත් සමගම සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වර්ධනය වීය. සමාජයේ ආදි මිනිසා බිහිවූයේ කවදාද? මිනිසාගේ ගමන්මග හැඩ ගැසෙන්නේ  කෙසේද? මානවයාගේ අවසානය කොතැනද ආදී වශයෙන් මිනිසා පිළිබඳව සොයා බැලීම, ප්‍රශ්න කිරීම හා පැහැදිලි කිරීම එකම විෂයක්ෂේත්‍රයකට ඇතුළු කර පොදුවේ මිනිසා ගැන අධ්‍යනය කිරීම සමාජ මානව විද්‍යාව ලෙස හඳුනාගත හැකිය. එනම් සමාජ මානව විද්‍යාව මිනිස් ජීවියාගේ සමස්ත ජිවිතයම විද්‍යාත්මක ලෙස අධ්‍යනය කරන විෂයයි. ඉංග්‍රීසි භාෂාවෙන් මානව විද්‍යාව හඳුන්වනු ලබන්නේ Anthropology (ඇන්ත්‍රොපොලෝජි) යනුවෙනි. මෙහි Anthropos  යන වචනය ලතින් භාෂාවෙන් බිඳි ආ වචනයකි. මානවයා හෙවත් මිනිසා යන අර්ථය එහි ගැබ්වී ඇත. Logos යන වචනයද ලතින් භාෂාවෙන් බිඳි ආවක් වන තර එහි අර්ථය වන්නේ විද්‍යාත්මක ලෙස අධ්‍යනය කිරීමයි. ඒ අනුව ග්‍රීක භාෂාවේ "මිනිසා” යන්නට යොදන Anthropos  යන්නත්   "හැදෑරීම” සඳහා යෙදන Logos යන්නත් එකතුවෙන් Anthropology හෙවත් විද්‍යාව” යන වචනය සැකසී ඇත.
මිනිසා පිළිබඳව අධ්‍යනය කිරීමේදී මිනිසාගේ කායික සැකැස්ම හා සමාජ ව්‍යුහය යන දෙඅංශය පිළිබඳවම අවධානය කළ යුතුය. මානවයාගේ ජෛවීය අංශය හා සමාජය අංශය යන දෙඅංශයම අධ්‍යනය කිරීමේදී මානව විද්‍යාඥයින් සමාජ මානව විද්‍යාව  ප්‍රධාන විෂය ධාරා දෙකකට බෙදා ඇත. මානව විද්‍යාව යනු කුමක්දැයි හඳුනා ගැනීමේදී එම විෂය ධාරා දෙඅංශයම පිළිබඳව දැනුමක් තිබිය යුතුය. එනම්,
කායික හෙවත් ජීව විද්‍යාත්මක මානව විද්‍යාව 
සමාජ සංස්කෘතික මානව විද්‍යාව
කායික මානව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිත විද්‍යාව, සත්ව විද්‍යාව වැනි ස්වභාවික විද්‍යා විෂයන් ආශ්‍රය කරගෙන වැඩි දියුණු වී ඇත. සමාජ සංස්කෘතික මානව විද්‍යාව දර්ශනය, මනෝ විද්‍යාව, දේවධර්මය, ආගම්, භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි සමාජීය විද්‍යාවන් හෙවත් සමාජශාස්ත්‍රයන්ද , භාෂාවන්, ඉතිහාසය, නර්තනය, චිත්‍ර කර්මය, සංගීතය වැනි මානවශාස්ත්‍රද ආශ්‍රය කරගෙන වැඩි දියුණු වී ඇත. මේ අනුව මානව විද්‍යාව, මානවශාස්ත්‍ර, සමාජ ශාස්ත්‍ර හා ස්වභාවික විද්‍යා විෂය ක්ෂේත්‍රවල ඉතාමත් පෘථුල දැනුම් සම්භාරයක් රැස් කරගත් විෂය ධාරාවක් ලෙස අර්ථ දැක්විය හැකිය.


සඳු පූර්ණිමා..
(මූලාශ්‍රයන් සහ ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

ආහාර මිල ඉහල යාම නිසා උද්ගතවන ගැටළු

ආහාර මිල ඉහල යාම නිසා උද්ගතවන ගැටළු හා ඒ ඒ කෘෂිකාර්මික සමාජ විසින් ගනු ලබන විකල්ප උපාය මාර්ග.

අත්‍යවශ්‍ය අහාර මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ගේ මිලට ගැනීමේ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය පහළ යයි. එබැවින් ගෘහස්ථ මට්ටමේ ද කෘෂිකාර්මික ජන සමාජයේ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීම සඳහා එයට ප්‍රතිචාර වශයෙන් ඒ ඒ කෘෂි සමාජවල ගෘහ ඒකක විසින් විකල්ම උපාය මාර්ගික යාන්ත්‍රනයක් (Coping machanism)  අනුගමනය කරනු ලැබේ. එම උප ප්‍රධාන මාර්ග වශයෙන් ස්වරූප දෙකකි.

01. සෘජු උපාය මාර්ග.

02. වක්‍ර උපාය මාර්ග.

සෘජු උපාය මාර්ගවලදී ආහාර පරිභෝජනයේ ප්‍රමාණය සහ ප්‍රමිතිය පහළ යන අතර වක්‍ර උපාය මාර්ගවලදී ආහාර පරිභෝජනය වෙනුවෙන් පවතින වෙනත් වත්කම් පහළ යාමෙන් ඔවුන්ගේ සමස්ථ ජීවන මට්ටම පහළ වැටේ.

මෙහිදි කෘෂිකාර්මික සමාජ මුහුණපාන ලද ප්‍රධාන අපහසුතා ලෙස,

ආහාර මිල ඉහල යාම.

අපහසුතාවය හා සෞඛ්‍ය පහසුකම් නොමැතිකම, අසනීප තත්වයන්.

වැටුප් අඩුවීම/රැකියාව යෙදෙන දින ගණන අඩුවීම.

ණය පියවීම.

ආරක්ෂාව/සොරබිය.

අයහපත් කාළ ගුණය.

විදුලිය නොමැතිවීම.

දැක්විය හැකි වේ. මේවා සඳහා කෘෂිකාර්මික සමාජයන් ගෙන ඇති විකල්ප ක්‍රියාමාර්ග පහත ලෙස දැක්විය හැකි වේ.

මෙහි ප්‍රධාන සාධකයක් වන ආහාර මිල ඉහල යාම නිසා ඇතිවන අපහසුතාවය හමුවේ එයට හඩගැස්ම සඳහා ඒ ඒ  කෘෂි සමජවල ගෘහ ඒකක විසින් අනුගමනය කෙරේ. මෙහිදී මිලෙන් අඩු ආහාර ප්‍රමාණයන් හා ආහාර වර්ග තෝරා ගැනීමට පෙළඹේ. එමෙන්ම මිලට ගන්නා ආහාර ප්‍රමාණයන් අඩු කිරීම ද සිදුවේ. ඒවාට අමතරව ණය පදනම මත ආහාර මිලට ගැනීමට ද කටයුතු කරයි. තවද ඇතැම් කෘෂි ගෘහයන් මිතුරන්  හෝ නෑදෑයන් මත යැපේ.

මේ ආකාරයට පොදුවේ ගත් කළ ගෘහ ඒකකයන් වල ආහාර මිල ඉහල යාම නිසා පහත සඳහන් උපායමාර්ග ලබාදී ඇත.

01. ආහාරවල දිනපතා ගන්නා ආහාර අඩුවීම.

02. කුඩා ළමුන් වෙනුවෙන් වැඩිහිටියන් ආහාර පරිභෝජනය   සීමා කිරීම.

03. සෞඛ්‍ය වියදම් අඩු කිරීම.

04. ඊළග කන්නයට තබාගත් බීජ පරිභෝජනය

05. පොහොර, කෘෂිකාර්මික,  සත්ව භාෂක වියදම් අඩු කිරීම.

06. වැඩි වශයෙන් බෝග වගා කිරීම (තම පරිභෝජනය සඳහා බටු, මිරිස්, ගෝවා යන අදීය වගා කිරිම.


මේ ලෙස ආහාර මිල ඉහල යාම කෘෂිකාර්මික ජන සමාජවල ආහාර සුරක්ෂාව තහවුරු කිරීමට අපහසු වන බවක් දක්නට ඇත. මෙහිදී දියුණු වෙමින් පවතින වෙනත් රටවල් දෙස අවධානය යොමු කිරීමේදී (උදා: කාම්භෝජය, බංගලාදේශය)  වැනි රට තුල ආහාර මිල ඉහල යාම නිසා පාසල් ළමුන් අධ්‍යාපනයෙන් ඉවත් කර වෙනත් ආදායම් මාර්ගවලට යොමු කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ද රජය මගින් ලබා දෙන පහසුකම් ලබා දීම හේතුවෙන් ද ව්‍යවස්ථාපිත නීති රීති හේතුවෙන් එවැනි දේවල් සිදු කිරීම අවම වී ඇති අතර දිළිදු ගෘහ ඒකක වල ළමුන් තවමත් දෛනික ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.


සඳු පූර්ණිමා...

(සියලුම ඡායාරූප අන්තර්ජාලෙන් උපුටා ගන්නා ලදී)

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...